බලය අල්ලන්න කෑගහන සජිත් අපිව දාලා ගියා – චමල් රාජපක්ෂ

“මේ රජය පරාජයට පත් කරලා පාර්ලිමේන්තු බලය අල්ලනවා කියලා කැ ගහන සජිත් ප්‍රේමදාස මහත්තයට මං අභියෝග කරනවා පුළුවන් නම් නැවත එන්න තිස්සමහාරාමයට කියලා. පහුගිය ජනාධිපතිවරණයට ඉල්ලලත් එතුමා තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාශයෙන් පරාදයි. අපි වැඩි ජන්ද පනස් එක්දහසකින් මේ කොට්ඨාශය ජයග්‍රහණය කළා. ඉතින් එතුමා මේ පාර ආව නම් අපි ජයග්‍රහණය කරනවා වැඩි ජන්ද හැත්තෑ පන්දහසකින්. කියන්න තියෙන්නේ අපිව පරාජය කරනවා පරාජය කරනවා කියන සජිත් මහත්තයා අද අපිව දමලා ගිහිල්ලත් ඉවරයි. අපිට ඒ ගැන කණගාටුයි. ඔය තරම් විශ්වාසයක් තියෙනවා නම් අපි සජිත් මහත්තයට කියනවා එන්න මෙහාට. ඇවිත් අපිත් එක්ක තරඟ කරමු.” යැයි මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අභ්‍යන්තර වෙළද හා පාරිභෝගික කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසිය. අමාත්‍ය වරයා මේ බව පැවසුවේ සුරියවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදි දුරටත් අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. “පසුගිය අවුරුදු පහ තුළදි මේ රට සම්පුර්ණයෙන්ම විනාශය කරා ඇද දැමිමට කටයුතු කළ අය අද ජනතාවගෙන් බහුතර බලයක් ඉල්ලිම මහා විහිළුවක්.පසුගිය වසර පහ තුළ ජනතාව කොතරම් පීඩාවකට ලක් වෙලා හිටියද කියලා හැමෝම දන්නවා. ඒ නිසානේ යහපාලන ආණ්ඩුව ගෙදර යවලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අති බහුතර බලයකින් මේ රටේ ජනාධිපති වරයා බවට පත් කළේ.

අද විපක්ෂය කියා ගන්නා අය දෙකට තුනට බෙදිලා ඒ ඒ අය ඇණ කොටා ගන්නවා.ඒ විතරක් නෙමේ මේ අය බලයේ හිටිය අවුරුදු පහේම මේ රට නිදි කරවලා තිබුණේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබුණු වේගවත් සංවර්ධන වැඩ සම්පුර්ණයෙන්ම ඒ අය නතර කළා. හම්බන්තොට වරාය විකුණුවා. මත්තල වී ගබඩා දමලා ගුවන් තොට විනාශ කළා. රටේ ආර්ථිකය බිංදුවට දැම්මා. එක රැකියාවක් දෙන්න ඒ අය කටයුතු කළේ නෑ. ගොවිතැනට අවශ්‍ය ජලය ටික දෙන්න ඒ අයට බැරි වුණා. ගොවිතැනට විතරක් නෙමේ මිනිස්සුන්ට බොන්න පිරිසිදු පානීය ජලය ටිකක් දෙන්න පසුගිය අවුරුදු පහේ හිටිය අයට බැරි වුණා.එකදු සංවර්ධන වැඩක් මේ අයට කරන්න බැරි වුණා. ඉතින් එහෙම තියෙද්දි නැවතත් මේ අය රට සංවර්ධනය කරන්න කියලා බලයක් ඉල්ලීම මහා විහිළුවක් විදියටයි ජනතාව දකින්නේ.

වි ගොවිතැනට නිර්දේශ කළ පොහොර ප්‍රමාණයක් තියෙනවා. නමුත් අනිත් භෝග වගාවේදී ගොවි මහත්වරු නියමිත ප්‍රමාණයෙන් සැහීමකට පත් වෙන්නේ නැහැ. ඉතින් අපි රජයෙන් ලබා දෙන පොහොර ටිකත් ගහලා තව පොහොර හොන්ඩර දෙකක්වත් අක්කරයට ගහනවා. එතකොට ඒ හොන්ඩර දෙක ගණන් බැලෙන්නේ නෑ. අපි පොහොර හදන්නේ නැහැනේ. අපි පොහොර පිටරටින් ගේන්නේ. ඒ ගෙන්වන්නේ නියමිත ප්‍රමාණයකටයි. එහිදි භාවිතයේ වැඩි විමක් වෙනකොට පොහොරවල හිඟයක් එනවා. මේකට තියෙන එකම විසදුම තමයි මේ රටේ පොහොර නිෂ්පාදනය ආරම්භ කිරිම. එප්පාවල අපිට හොඳ පොහොර නිධියක් තියෙනවා. ඉදිරියේදි අපි එහි වැඩ පටන් ගන්නවා. ඒ සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඉදිරි වසර දෙක අවසන් වෙන්න කලින් අපි මේ රටේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික දෙන්න අවශ්‍ය වැඩ කරනවා යැයිද පැවසූ අමාත්‍ය චමල් රාජපක්ෂ, අද වර්ථමාන රජය කෙරෙහි ජනතාව තුළ දැඩි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා.අවශ්‍ය වෙලාවට එඩිතරව අවශ්‍ය තින්දු ගැනිම තුළින් රට ගොඩ නැගීමේ මාර්ගයට යාමට හැකි වෙලා තියෙනවා.ජනතාව තුළත් වත්මන් ආණ්ඩුව කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා.ඒ නිසා මේ මැතිවරණයේදි පොහොට්ටුවට තුනෙන් දෙකේ බලය ඉතා පහසුවෙන් ගන්න පුළුවන් බවට විශ්වාසය පළ කරන බවද සඳහන් කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *