බල්ලොත් එක්ක බෑ

මිනිස්සු නොගැලපෙන වැඩ කරන කොට කියන්නෙ ‘බලූ වැඩ’ කරනව කියල. එහෙම කරන අයට ‘බල්ලො’ කියනව. සමහර කෑම ‘බල්ලන්ටවත් කන්න බෑ’. ඉස්සර ගල්කිස්සෙ තිබුණලූ ‘බල්ලොත් නොකන වැල වරකා’.

කොච්චර ඒ වාගෙ අපහාස උපහාස කළත්, බල්ලා නමැති සතා මනුසතා එක්ක එකට ජීවත් වෙන්නෙ අවුරුදු 15000කටත් ඈත අතීතයෙ ඉඳලලූ. වනගත වෘකයාගෙන් බල්ලා පරිණාමය වෙලා තියෙන්නෙ අවුරුදු 40000කට විතර කළින් කියලත් කියනව. සත්ත්ව විද්‍යාත්මකව canis lupus familiares නමින් හැඳින්වෙන බල්ලා, වනගත වෘකයාට මෙන්ම නරියාටත් ( canis aureus ඇතුළු ප‍්‍රභේද) ජානමය සබඳතාවන් දක්වනව. දඩයම් යුගයෙන් ආරම්භ වුණා යැයි සැලකෙන බලූ-මිනිස් සබඳතාව කොයි තරම් විකාශනය වුණාද කියනව නම්, දැන් ඉන්න ගෘහාශ‍්‍රිත බල්ලා (Domestic Dog)  ආහාර රටාව, චර්යා ලක්‍ෂණ, සන්නිවේදනය විතරක් නෙමෙයි, ශරීර ස්වභාවයන්ගෙනුත් තම ආදිකල්පික නෑයාගෙන් මුළුමනින්ම වාගෙ වෙනස් වෙලා. සියවස් ගණනකට පෙර ඉඳලම මිනිසාගේ හොඳම මිතුරා වෙලා තියෙන්නෙ බල්ලා. ස්වාභාවික පරිණාමයෙන් මෙන්ම මිනිස් මැදිහත් වීමෙන් ඇති වුණු උප විශේෂ විශාල සංඛ්‍යාවක් canis lupus familiares විශේෂයට අයත්.

අද වෙනකොට නම් සියයට අනූවකටත් වැඩිය, මිනිස්සු බල්ලන් ඇති කරන්නෙ සුරතල් සතුන් විදිහට. මේ වෙද්දි ලෝක ‘බලූගහනය’ මිලියන 900 ක් විතර වෙනවලූ. ශ‍්‍රී ලංකාවෙ මිනිස් – බලූ අනුපාතය 1980 ගණන් වල තිබුණෙ 8 කට 1ක් විතර. දැන් 6කට එකක් විතර වෙලාලූ. අයිතිකාරයින් නැති බල්ලන්ම ලක්‍ෂ 5කට වැඩිය ඉන්නවලූ.

බල්ලා මිනිසාගෙ හොඳම මිතුරා වාගෙම භයානකම හතුරා වෙන තත්ත්වයකුත් තියෙනව. ඒ තමයි, මාරාන්තික මානව ජලභීතිකාව පැතිරීමට සියයට 85කට විතරම හේතු වෙන්නෙ බල්ලන් විසින් සපාකනු ලැබීම වීම.

ජලභීතිකා රෝගය කියන්නෙ මූලිකවම බල්ලන් බළලූන් නරියන් දඬුලේනුන් වැනි වනගත සතුන්ට වැළඳෙන, නියත වශයෙන්ම මාරාන්තික වයිරස් ආසාදනයක්. මිනිසුන්ට මේ රෝගය බෝ වෙන්නෙ එවැනි සතුන්ගේ සපාකෑම් වලට ලක්වීම් නිසා. ලෝකය පුරා බිලියන 3කට අධික ජනගහනයක් ජලභීතිකා රෝගයට ගොදුරු වීමේ අවදානම සහිත රටවල වෙසෙන බවත්, ආසියාව සහ අප‍්‍රිකානු රටවල පමණක් වසරකට 55,000කට අධික පිරිසක් ජලභීතිකාවෙන් මිය යන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනව. ශ‍්‍රී ලංකාවෙත් මේ වෙනකොටත් වසරකට පුද්ගලයන් 20 – 30 අතර ගණනක් මෙම රෝගයෙන් ජීවිතක්‍ෂයට පත් වෙනව. වඩාත් වැදගත්ම දේ වෙන්නෙ, මේ මරණ 100%ක්ම වළක්වාගත හැකි බව.

ජලභීතිකාව ඇති කරන වයිරසය මිනිස් සිරුරට ඇතුළු වෙන ප‍්‍රධානතම ක‍්‍රමය වෙන්නෙ ආසාදිත සතුන් විසින් සපාකනු ලැබීම (ගැඹුරු සපාකෑම් වගේම සීරීම් නිය පහරවල් වැනි තුවාල) ආසාදිත සතුන්ගේ කෙළ හෝ රුධිරය වැනි පටක මිනිසාගේ ශ්ලේෂ්මල පටල හෝ විවෘත තුවාලයක තැවරීමෙනුත් ජලභීතිකා රෝගකාරක වයිරසය ශරීරගත වෙන්නට පුළුවන්.

වයිරසය ශරීරගත වීමේ සිට රෝග ලක්‍ෂණ ආරම්භ වීමට ගතවෙන කාලය (බීජෞෂණ සමය) සාමාන්‍යයෙන් මාස 1 සිට 3 දක්වා වුණත්, එය සතියකට අඩු කාලයක ඉඳල අවුරුද්දක් පමණ දක්වා වුණත් දිගු වෙන්නට පුළුවන් බවත් හඳුනගෙන තියෙනව.

මිනිස් සිරුරට ඇතුළු වන ජලභීතිකා රෝගකාරක වයිරස රුධිරය මගින් කෙළින්ම ගමන් කරන්නෙ ස්නායු සෛල වෙතට. මුල්ම අවස්ථාවෙ ඇති වෙන්නෙ සාමාන්‍ය උණ රෝගයක වැනි ලක්‍ෂණ නිසා, ජලභීතිකා ආසාදනය වෙනත් එවැනි උණ රෝග වලින් වෙන් කොට හඳුනාගන්නත් අපහසුයි. ඒත් ස්නායු සෛල උත්තේජනය වීමේ අසාමාන්‍යතාවන් නිසා, සපාකනු ලැබූ ස්ථානය අසළ හිරිවැටීම හෝ මස් පිඬු නැටීම, දැවිල්ල වැනි ලක්‍ෂණත් ඇති වෙන්න පුළුවන් මුල් අවස්ථාවෙදිම.

රෝගය උත්සන්න වෙනකොට, ස්නායු පද්ධතියේ කි‍්‍රයාකාරිත්වය අසාමාන්‍ය වීම පැහැදිලිව දක්නට ලැබෙනව. රෝග ලක්‍ෂණ අනුව ජලභීතිකාව ප‍්‍රධාන ආකාර දෙකක් තියෙනව, උමතු ප‍්‍රභේදය සහ ගොළු හෙවත් ආඝාතමය ප‍්‍රභේදය ලෙස. උමතු ප‍්‍රභේදයේ රෝග ස්වභාවයේදි රෝගියාගේ මානසික ස්වභාවය වෙනස්වීම, තැති ගැනීම ජලයට (සහ සුළඟට පවා) බියවීම, පේශි වල අධිසංවේදීතාව සහ අධික‍්‍රියාකාරිත්වය වැනි ලක්‍ෂණ ප‍්‍රමුඛව හට ගන්නව. (මෙම රෝගයට ජලභීතිකාව කියන්නෙ වැඩිපුරම දක්නට ලැබෙන මෙකී උමතු ප‍්‍රභේදය නිසා) මේ තත්ත්වයේදී රෝගියා සතියකට ආසන්න කාලයක් තුළදී අසාධ්‍ය තත්වයට පත් වෙලා, හදිසි ශ්වසන අපහසුතාවෙන් හෝ ඉන්ද්‍රිය අකර්මණ්‍යතාවෙන් මරණයට පත් වෙනව. ආඝාතමය ප‍්‍රභේදය වැළඳුණු රෝගීන්ගේ පේශි ක‍්‍රියාකාරිත්වය ක‍්‍රමයෙන් දුර්වල වී, ශ්වසනය ඇතුළු අත්‍යවශ්‍ය ක‍්‍රියාවන්ද ක‍්‍රමයෙන් අක‍්‍රිය වීමෙන් රෝගියා මිය යනව. (ජලභීතිකාව වැළඳුණු බල්ලන්ටත් ඇති වෙන්නෙ මේ ප‍්‍රභේදයන් දෙකමයි)

නිසි ප‍්‍රතිකාරයක් තවම හඳුනාගෙන නැති නිසා, ජලභීතිකා රෝගය වැළඳුණු පසු රෝගියා මරණයෙන් ගලවාගත නොහැකි වුණත්, රෝගකාරකය ශරීරගත වුණු විගසම නිවැරදි ප‍්‍රතිකර්ම යෙදීමෙන්, රෝගය වැළඳීමට නොදී මුළුමනින්ම වළක්වා ගන්න පුළුවන් වීම සැනසිල්ලට කරුණක්. ඒ සඳහා කළ යුතු මූලික දේවල් ගැන තමයි මේ කියන්න හදන්නෙ.

සුරතල් සතුන් (බල්ලන් සහ බළලූන් ඇතුළු) අනිවාර්යයෙන් නිසි කලට ජලභීතිකා රෝගයෙන් වළක්වා ගැනීමට එන්නත් කරවීම කළ යුතුම දෙයක්. එවැනි සතුන් බෝවීම පාලනය සඳහා කටයුතු කිරීමත් වැදගත්. අයිතිකරුවන් නැතිව අයාලේ හෝ දඩාවතේ යන සතුන් නිසා ජලභීතිකාව ඉතා පහසුවෙන් පැතිරෙනව, එන්නත් වලින් ප‍්‍රතිශක්තියක් නොලැබෙන හින්ද. (නිවෙස් වල හැදෙන බලූ පැටවුන් සහ බළල් පැටවුන් පාරවල් අයිනට, පන්සල් පාසල් රෝහල් වැනි තැන්වලට ගෙනගොස් දැමීම ගැන මොකද හිතෙන්නෙ..?)

සුරතල් හෝ වෙනත් ආකාරයක සතකු විසින් සපාකනු ලැබූ වහාම, අදාළ තුවාලය හෝ සපා කනු ලැබූ ස්ථානය හොඳින් සබන් දමා සෝදා, හැකිතාක් විවෘතව තබාගෙන, වහාම රෝහලක් වෙත ගොස් ජලභීතිකා මර්දන එන්නත් විද්දවා ගැනීමයි ඊළඟ අත්‍යවශ්‍ය කාරණය. එන්නත් ලබාදී ඇති සතෙකු විසින් සපාකනු ලැබුවත්, මේ විදිහට රෝහලක් වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. වෛද්‍යවරයා විසින් අදාළ කරුණු සලකා බලා, නියමිත නිර්ණායක වලට අනුව එන්නත් ලබාදීම සහ වෙනත් ප‍්‍රතිකාර ලබාදීම සිදුකරාවි.

එන්නත් දීම ආරම්භ කළ පසු, නියමිත දින වල රෝහලට ගොස්, සියළු එන්නත් මාත‍්‍රාවන් නිවැරදි ලෙස ලබා ගැනීම තමයි අනෙක් වැදගත් අවශ්‍යතාවය. නිවසේ ඇති කරන සුරතලා විසින් නම් සපා කනු ලැබුවෙ, එම සතා බැඳ තබා සති දෙකක් පරීක්‍ෂාවෙන් ඉන්නත් නිර්දේශ කරනව, සපා කනු ලැබූ අවස්ථාවෙ එම සතාට ජලභීතිකා රෝගකාරකය ශරීරගත වෙලා තිබුණ නම්, අනිවාර්යයෙන් සති දෙකක් තුළ රෝගය වැළඳී එම එම සතා මිය යා හැකි නිසා. එම කාලය තුළ සතාගේ කිනම් හෝ සැක කටයුතු රෝග තත්ත්වයක් ඇති වුණොත් වහාම වෛද්‍යවරයා වෙත වාර්තා කිරීමත් අත්‍යවශ්‍යයි.

සැලකිල්ලෙන් කටයුතු කරනව නම්, ‘බල්ලොත් එක්ක ඉන්න බැරිකමක් නෑ’..! මොකද, ඇත්තම කියනව නම්, මිනිස්සුන්ට වැඩිය බල්ලන්ට ගුණේ තියෙනව…

දියතලාව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි – B M C දසනායක

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *