බැර ලෝහ විෂ පොහොර හොර රහසේ වෙළඳපොලට

මාරාන්තික බැර ලෝහ සහිත දීර්ඝකාලීනව විෂ තත්ත්වයක් නිර්මාණය කෙරෙන පොහොර තොගයක් වෙළඳපොළට නිකුත් කර ඇතැයි ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. යල කන්නයේ වගා කටයුතු සඳහා ගොවීන් පොහොර මිලදී ගැනීමට කටයුතු කරමින් තිබියදී මුදා හැර ඇති මෙම පොහොර තොගයට යූරියා, ටී.එස්.පී, එම්.ඕ.පී වැනි සියලු පොහොර වර්ග ඇතුළත් වන බවද ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් නිසි තත්ත්ව පරීක්ෂාවකින් තොරව ඒවා මුදා හැර ඇති බවද එම සංවිධානය චෝදනා කරයි.

කැඩ්මියම් රසදිය සහ ඊයම් අඩංගු ශරීරයට ඉතාම අහිතකර මෙම පොහොර ටොන් 8000ක්වත් පසට හා ජලයට එක්වනු ඇතැයි ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අනතුරු අඟවයි. බලධාරීන්, නොමිලයේ පොහොර බෙදා දීමේ අංක 5/2020, 2020 සංශෝධන ii හා අංක 1 EFF 2020 දරන පරිසර හිතකාමී පොහොර බෙදාහැරීමේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් මෙම තීන්දුවට එළඹ තිබේ. අදාල අමාත්‍යංශයේ ලේකම් වරයාගේ උක්ත චක්‍රලේඛ නොසළකා මෙසේ තීන්දු ගෙන ඇත්තේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල යි. ඔහු සිය තීන්දු සාධාරණීකරණය කරමින් නිකුත් කර ඇති ලිපිවලින් උපදෙස් දී ඇත්තේ පවතින වසංගත තත්ත්වය නිසා රසායනාගාර වසා ඇති බැවින් පරීක්ෂාවකින් තොරව පොහොර නිකුත් කරන බවයි.

ශ්‍රී ලංකාවේ තත්ත්ව පරීක්ෂණ අසමත් වූ පොහොර යුරෝපා තත්ත්ව සහතිකය ඇත්නම් මුදා හැරීමටද නියෝග කර ඇත. විකල්ප අවස්ථාවන් නොසළකා ජාත්‍යන්තර සහතික මත පමණක් මෙසේ කටයුතු කිරීම ගොවි ජීවිතද, රටවැසියාද අනතුරේ හෙලීමක් බව ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙයි. විශේෂයෙන් එම තත්ත්වය උදාවනුයේ පොහොර ආනයනයට රුපියල් බිලියන 70ක් පමණ වියදම් වෙද්දී සහ මාරාන්තික වකුගඩු රෝගයට පවා විෂ පොහොර හේතුවන බව අනාවරණය වී තිබියදීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *