බැසිල්ගේ පැමිණීම ආණ්ඩුවට හයියක් – කෙහෙළිය

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධව අද බොහෝ පිරිස් විවිධ මත ප්‍රකාශ කරන බවත් ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම ආණ්ඩුවට ශක්තියක් බවත් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පසුබිමත් සමඟ බිම් මට්ටමේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති දැවැන්ත පක්ෂය නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතා බවත්  එතුමා මේ පක්ෂය මෙහෙයවමින් වසර හතරක් තුළ ලෝක විප්ලවයක් සිදුකළ බවත් හෙතෙම කීවේය. එතුමාට එම ගරුත්වය නිසි පරිදි ලබා නොදුනහොත් අප ගුණමකු තත්ත්වයට පත්වන බවද ජනමාධ්‍ය ඇමැතිවරයා කීය.

කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාසයේ මාර්ග සංවර්ධන කටයුතු රැසක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා පෙරේදා (04) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

මෑත යුගයේ අභියෝගාත්මකම අයවැය මෙවර ඉදිරිපත් කිරීමට රජයට සිදුව තිබෙන බවත් පවතින අසාමාන්‍ය තත්ත්වය මත වුවද ජනතාව ජීවත් කරවීම හා රටේ සංවර්ධනය යන ප්‍රධාන කරුණු පදනම් කරමින් සාර්ථක අයවැයක් ඉදිරිපත් කරන බවත්  ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

රටේ අද පවතින්නේ සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත් පවතින අසාමාන්‍ය තත්ත්වය මත අයවැය ඉදිරිපත් කිරීමේදී විවිධ ප්‍රශ්න මතු විය හැකි බවත් ඇමැතිවරයා කීය.

එවන් අසාමාන්‍ය තත්ත්වයක් මත වුවද රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටු කිරිමට රජය සෑම විටම කැපවන බවත්  ජනතාව ජීවත් කිරීම හා රටේ සංවර්ධනය යන ප්‍රධාන කරුණු පදනම් කරගනිමින් මෙවර අයවැය සකස්කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

දළ දේශීය ආදායමෙන් 98% ක්ම ණය වාරික ගෙවීමට වෙන් කිරීමට සිදුව තිබියදී එදා යුද්ධය ජයග්‍රහණය කර රට සංවර්ධනයේ මාවතට රැගෙන ගිය ආණ්ඩුව අද ගෝඨාභය,මහින්ද,බැසිල් එකතුවෙන්  රට සෞභාග්‍යයේ දැක්ම කරා ගෙන යමින් තිබෙන බවත් කී ඒ මහතා  අපේ රටේ භෞතික සම්පත් විදේශ වලට විකිණීමට කිසිදු  තීරණයක් රජය ගෙන නොමැති බවද ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට මේ රටේ ජනතාව ලබාදුන් බලය මත සියල්ල සිදුවන බවත් වැඩ බැරි අයට බලය තිබුනත් වැඩ කළ නොහැකි බව ඔවුන් ප්‍රායෝගිකව ඔප්පුකර පෙන්වා තිබෙන බවත් රඹුක්වැල්ල මහතා කීය.

අද අපේ රට මෙන්ම ලෝකයේ රටවල් රැසක් කොරොනා  රෝගය හේතුවෙන් විවිධ ගැටලු වලට මුහුණ පා සිටින බවත් කුමන ආකාරයේ ගැටලු උද්ගත වුවත් මේ රෝගය මර්දනය කිරීම සඳහා රජයක් ලෙස ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත්  අමාත්‍යවරයා පැවසීය.

කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ එළමල් පොත-කුරුඅබේමුදුන මාර්ගය, දැලිවලතැන්න- ඉහළ කෝනාගම මාර්ගය, වාවින්න-ඉහලගම මාර්ගය, පන්සල් වත්ත-සිරිමල්වත්ත මාර්ගය , කරත්තමඩ- ඇටිකෙහෙල් ලන්ඳ මාර්ගය, අරංගල-ගල්මඩුව මාර්ග අයත් කිලෝමීටර් 28 ක් මාර්ග කාපට් කොට සංවර්ධනය ආරම්භ කිරීම,හපුවල උයන් වත්ත ප්‍රජාශාලාව සංවර්ධනය කිරීම, බලගොල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම, කුණ්ඩසාලයේ මුත්තයියා මුල්ලිදරන් ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය හා මැණික්හින්න නගර සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයද අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් මෙදින සිදු කෙරුණි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *