බිජුවට වපුරන වැහි බිඳු තාලේ,

මහේන් සූරි විසිනි

ඕනෑම ගසකට හෝ පැළයකට හිරු එළියෙන් පසු වැදගත් ම සාධකය වන්නේ ජලයයි. ශාකයකට ජලය සැපයෙනා ක්‍රම කිහිපයකි.

  • වර්ෂා ජලය
  • භුගත ජලය

ගංගා ඇලදොළ ජලය ඉන් ප්‍රධානය. කුඩා ශාකවලට මෙයින් ප්‍රධානම වන්නේ වර්ෂා ජලයයි. එම නිසා ගොවිතැනේදී වර්ෂාව ලැබෙන්නේ කුමන කාලවලද, කොපමණ ප්‍රමාණවලින් ද, ඊට අනුගත වී ගොවිතැන සාර්ථක කර ගන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතුය.

වර්ෂාව (වැස්ස)

ශ්‍රී ලංකාවේ පිහිටීම කෘෂිකර්මාන්තයට ආශිර්වාදයකි. ඉන්දියන් සාගරයේ පිහිටීම මෙන්ම රටේ භූගෝලීය පිහිටීමද කෘෂිකර්මයට ඉතා සුදුසු ආකාරයෙන් ස්වභාවධර්මයෙන්ම දායාදව ඇත.

ශ්‍රී ලංකාවට අනිවාර්ය වැසි වර්ග තුනක් වාර්ෂිකව ලැබේ. එනම් නිරිත දිග මෝසම් වැසි, ඊසාන දිග මෝසම් වැසි, වාසුලි (අන්තර් මෝසම් වැසි) වැසිය. නිරිත දිග මෝසම් තරමක් වැඩි වර්ෂාවක් ලබා දෙන්නේ නිරිත දිග සුලඟ දිගු මුහුදු තීරයක් පසු කොට ශ්‍රී ලංකාවට හමා එන නිසාය. නිරිත දිග මෝසමට සාපේක්ෂව ඊසාන දිග මෝසම් වර්ෂාව අඩු වන්නේ එය බෙංගාල බොක්කේ සිට ලංකාව දක්වා පටු මුහුදු තීරයක හමන සුලඟ රැගෙන එන වර්ෂාව නිසාය.

නිරිත දිග මෝසම් වැසි සක්‍රිය වන්නේ මැයි මස සිට සැප්තැම්බර් අතර කාලයයි. රටේ බස්නාහිර, වයඹ, මධ්‍යම, දකුණු පළාතේ ගාල්ල, මාතර, සබරගමුව යන පළාත්වලට නිරිත දිග මෝසම් වැසි ඉතා සක්‍රීයව ලැබෙන අතර උතුර, උතුරු මැද, ඌව, පළාත් වලට යම් ප‍මණකට වැසි ලැබේ. මෙයින් අඩුම වර්ෂාපතනය ලැබෙන්නේ මන්නාරම සහ හම්බන්තොට ප්‍රදේශවලටය. නිරිත දිග වෙරළ තීරයට 1000 mm – 1600mm දක්වා වර්ෂාව ලැබේ.

ඊසාන දිග මෝසම් වැසි සක්‍රීය වන්නේ දෙසැම්බර් මස සිට පෙබරවාරි දක්වා කාලය තුලය. මෙම කාලය තුල වියළි සිසිල් කාළගුණයක් රටේ බොහෝ පෙදෙස්වල දක්නට ලැබේ. මෙම කාල සීමාව තුල වැඩිම වර්ෂාපතනය මධ්‍යම කඳුකරයේ ඊසාන දිග බෑවුමේ මැද නකල්ස් නැගෙනහිර බෑවුමෙන්ද වාර්ථා වන අතර උතුරු මැද, නැගෙනහිර, උතුර, ඌව පළාත් වලට සැළකිය යුතු වැඩි වර්ෂාවක් ද ලැබේ. අඩුම වර්ෂාපතනය පුත්තලම සහ බටහිර වෙරළ තීරයට ලැබේ.

සංවහන වැසි හෙවත් අන්තර් මෝසම් වැසි ශ්‍රී ලංකාවට වසරේ කාල දෙකක දක්නට ලැබේ. පළමු අන්තර් මෝසම් වැසි ලැබෙන්නේ මාර්තු, අප්‍රියෙල් මාසවල වන අතර ඉඩෝරයට පසුව වසිනා පළමු වැස්ස අක්වැස්ස නම්න් ජනවහරේ සඳහන් වෙයි. නිරිත දිග මෝසම් වැසි ලැබෙන ප්‍රදේශවලටම පළමු අන්තර් මෝසම් වර්ෂාවද ලැබෙයි. දෙවන අන්තර් මෝසම් වර්ෂාව ලැබෙන්නේ ඔක්තොම්බර්, නොවැම්බර්, මාස වලය. බෙංගාල බොක්කේ අවපාත සහ සුළි සුලං මෙම කාලයේ දී බහුලය. බොහෝවිට ගංවතුර නායයෑම් සහිත තත්ත්වද බලාපොරොත්තු විය හැකිය. මෙම කාලය තුල ශ්‍රී ලංකාවේ වඩාත් හොඳින් සමතුලිත වර්ෂාපතන ව්‍යාප්තියක් ඇත.

පරිසර විද්‍යාඥයින් ශ්‍රී ලංකාවේ වර්ෂාව මෙසේ නිරිත දිිග මෝසම, ඊසාන දිග මෝසම සහ අන්තර් මෝසම් වර්ෂාව යන නම් වලින් ලඝු කල ද හෙළයේ වියත් පැරුණියෝ වර්ෂාව හැඳින්වූයේ අපට ආවේණික වූ වහරකින්ය. වගාවට උචිත, අනුචිතභාවය අනුව වර්ෂාව නාමකරණය සිදුවූයේ ජනජීවිතය සොබාදහම සහ වර්ෂාව එකිනෙකට බද්ධ වූ නිසාවෙන්ම ය. මෙහිදී වර්ෂාවෙහි ප්‍රමාණය, කාලය, නිර්ණය කිරීම සඳහා හෙළයන් ස්වභාවධර්මයෙන්ම ලත් දායාද භාවිතයට ගෙන ඇති බව පෙනේ

සම්ප්‍රදායේ එන විවිධ වර්ෂා වර්ග

1 .අක් වැස්ස – ඉඩෝර කාලය තුල අකාලයේ වසින වැසි හෙවත් අකල් වැසි

2. නියං වැස්ස (මොනර වැසි) – පායන කාලය (ඉඩෝරය) අවසානයේ වසින වැසි

3. බෙලි තෝර වැසි – නියං වැස්සෙම අවසන් කොටස බෙලි තෝර වැසි ලෙස හඳුන්වයි. බෙලි, තෝර, ආදී ශාක පැළ වෙන්නේ මෙම වැසි සමඟය

4. දමන් වැසි – සතර දෙසින් වැටෙන වර්ෂාව.

5. අනෝරා වැසි – ඉල් මාසයේ ඊසාන දිග මෝසම් වර්ෂාවේ අවසන් කාලයේ එක දිගට දින 7-8 ක් වසින වැසි , සමහර ප්‍රදේශවල මෙය ඉල් වැස්ස ලෙසද හැඳින්වේ. මෙම කාලය තුල බිම් සකස් කිරීම කිසිසේත් නොකළ යුතු වන්නේ අධික වර්ෂාපතනය හේතුවෙන් පොළව අධික ලෙස පාංශු ඛාදනයට ලක් විම හේතුකොට ගෙනය.

6. නා කපන වැසි – විශාල වැසි, මෙම වැස්සේදී වර්ෂා ඝනත්වය අධිකය. තවද නා කපන වැසි, මොර සූරන වැසි, අතු පෙරළන වැසි නමින් ද විශාල බිංදු සහිත ඝන වැසි හැඳින් වේ.

7. නිකිණි පාලූව – නිකිණි ඉඩෝරය අවසන් වන්නේ නිකිණි පාලූවත් සමඟය. වැස්සෙන් පෝෂණය වන පොළවේ වල් පැළ ඉතා ඉක්මනින් වර්ධනය වීම හේතුවෙන් වැස්ස වෙනුවට පාලුව යන යෙදුම භාවිතා වේ. ඉඩෝරයෙන් පසුව යෙදෙන මෙම වැස්සත් සමඟ යෙදෙන මුල් කරුවල බලා ගොවිතැන ආරම්භ කෙරේ.

8. අසනි වැසි – අකුණු සමඟ එන සංවහන වැසි.

9. පේළි වැසි – (වැලෑලි) කුඹුරු වල සීසාන කාලය එළැඹෙත්ම පේළියෙන් පේළියට වසින වැස්ස මේ නම්න් හැඳින්වේ.

10. මුරුගසං වැසි – බෞද්ධ සංස්කෘතියේ ලෝක විනාශය වන විට වසින වර්ෂාව මෙනම්න් හැඳින්වේ. ජන වහරේ එක දිගටම දින ගණනාවක් වර්ෂාව ලැබෙන විට ගැමියන් එම වර්ෂාව මුරුගසං වර්ෂාව ලෙසද හඳුන්වයි.

11. මල් වැසි – ක්‍ෂණිකව හට ගන්නා ඉතා කුඩා වැහි බිංදු සහිත පිණි වැසි ජන වහරේ ආසිරි වැසි ලෙසද හඳුන්වන අතර සුබ කටයුතු අවස්ථාවල ජනතා ආශිර්වාද හේතු කොට ගෙන මෙම වැසි වසින බවට විශ්වාස කරයි. හිරිපොද වැස්ස, සිරිපොද වැස්ස, කුඩු පොද වැස්ස, පොකුරු වැස්ස යන නම්වලින් ද මල් වැසි හැඳින්වේ.

12. දුවන වැසි – වරින් වර වැස්ස තුරල් කර නැවත වැස්ස පැමිණ නැවත පායන ආදී ලෙස කඩින් කඩ වසින වැසි, මෙනමින් හැඳින්වේ. වී කුරහන් වේලන කාලයට වේලීමට වී කුරහන් වේලන්නට දමා ටික වේලාවකින් වැස්ස ඒමත් නැවත අව්ව පෑයීමත් නිසා ගෙවිලියන් වරින් වර එහෙට මෙහෙට දුවමින් ගෙයින් මිදුලට මිදුලෙන් ගෙට වී කුරහන් අරන් දිවීමට සිදුවන නිසා මෙම වැස්ස ගෑනු නටවන වැසි නමින් ද හැඳින්වේ.

13. පොසොන් වැසි – දිවයිනේ බටහිර හා දකුණු වෙරළ ආසන්නයේ ජීවත්වන බොහෝ දෙනා පොසොන් පොහොය කිට්ටු වන විට විටින් විට සිලි සිලියේ ඇද හැලෙන චමත්කාර ජනක වැස්ස හඳුන්වන්නේ පොසොන් වැසි ලෙසය. පොසොන් වැසිවල අසිරිමත් සෞන්දර්යක් ගැබ්ව ඇති බව ඔවුහු විශ්වාස කරති. තවද මෙම ප්‍රදේශවල ජනයා තුළ පවතින විශ්වාසයක් නම් සිංහල අවුරුද්ද ගත වී දින 45ක් යන විට කෝචයක් හෙවත් තද සුළඟක් එන බවයි. එය නිරිත දිග මෝසම සක්‍රිය වීම විය යුතුය.

වැස්ස ජීවය පුබුදුවයි

14. කෝණම්වැස්ස – මාර්තු මාසය වන විට යළි අස්වනු නෙළා එළැඹෙන කන්නයේ වගා කටයුතු සඳහා වූ සැකසීමේ මූලික අඩිතාලම පිළියෙළ කිරීමේ බිම් සැකසීමෙන් අනතුරුව බලාපොරොත්තු වන්නේ වැස්ස ලැබීමය. මෙය ‘යල්වැස්ස‘, ‘බක්මහ වැස්ස‘ හෙවත් ‘කෝණම්වැස්ස‘ ය.

15. නිලි වැස්ස – දළු ගොයම් අවධියේ වහින කුඩා පොද වැස්ස මෙනමින් හැඳින්වේ. (මීදුම සමඟ එන පොද වැස්ස)

16. කඩාඬු බඳින වැස්ස – නිතර නියරවල් බිඳ වැටී ඒවායේ කඩාඬු බැඳීමට සිදුවන වැසි. (කඩාඬුව – වැස්ස නිසා නියර වල කොටස් කැඩී යාම. (බස්නාහිර පළාත)

17. රිට්ටා වැසි – පුරට හෝ අවට රිට්ටා සිටින දවසට වසින වැසි මෙනමින් හැඳින්වේ.

18. නත්තල් කුණාටු – දෙසැම්බර් මාසයේ අවසන් සති දෙක තුල ඇතිවන කුණාටු සහිත වැසි තත්වයකි.

මීලඟ කොටසින් වැසි නිමිති හඳුනාගැනිම පිළිබඳව සාකච්ඡා කෙරේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *