බොරු චෝදනා කළ අයට විරුද්ධව උසාවි යා යුතුයි – කිරිඇල්ල

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත යටතේ යම් කිසි ක්‍රීඩාවකට අසත්‍ය චෝදනා එල්ල කරන්නන් හට වසර තුනක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික සමගි ජන බලවේගය මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මේ මස 05 දින පස්වරුවේ මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ පැවති ජාතික සමගි ජන බලවේගය මහනුවර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා ඉහත අදහස් පළ කළේය. මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය.                                                                                                                                                                  

පසුගිය පාර්ලිමේන්තුවේ අවසාන දිනයේ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම මත ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පැවැති පාර්ලිමේන්තුවේ අවසාන දිනයේ තමයි මම මේ පනත ඉදිරිපත් කළේ. මෙම පනත යටතේ ක්‍රීඩාවක් පාවාදුන්නේ යැයි කිසිවකු හෝ අසත්‍ය චෝදනා එල්ල කරන්නේ නම් එම පුද්ගලයා හට වසර තුනක සිර දඬුවමක් ලබාදීමේ හැකියාව තිබෙනවා. මේ වන විට පොලිසිය විසින් කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන යන ක්‍රීඩකයන් මෙම  චෝදනාවෙන් නිදහස් කරලයි තිබෙන්නේ. මේක බොරු චෝදනාවක් කියලා පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතිං මම දැන් රජයට කියනවා මෙම බොරු චෝදනා ඉදිරිපත් කළ අය හට එරෙහිව නීතිමය පියවර ගන්න කියලා. මම නීතිපතිතුමා ගෙනුත් මේ පිළිබඳව ඉල්ලා සිටිනවා. රජය මේ අය හට එරෙහිව නීතිමය පියවර ගන්නේ නැත්නම් පුද්ගලිකව ඕනෑම කෙනෙකුට ඒ සම්බන්ධයෙන් අධිකරණට යාමේ හැකියාව තිබෙනවා. පුළුවන් නම් මේ බොරු චෝදනා එල්ල කළ අයට විරුද්ධව අධිකරණයට යන්න කියලා මම මේ රජයට අභියෝග කරනවා.                                                                                     

අද අප රටේ වගේම ක්‍රීඩාවට ලැදි හැමදෙනාම කතා කරන්නේ 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පාවාදීම චෝදනාව පිළිබඳවයි. මෙම චෝදනාවෙන් කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන ඇතුළු ජාත්‍යන්තරය පිළිගත් මේ වගේ ක්‍රීඩකයන්ට විශාල අපහසුතාවයකට මුහුණ දෙන්න වුණා. මෙම චෝදනාව එල්ල කළ අය මුලදී කීවා ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟය පාවා දුන්නා කියලා. ඊට පස්සේ ඒ අය කිව්වා කණ්ඩායම නෙවෙයි ක්‍රිකට්  පරිපාලනය මේ තරඟය පාවා දීමට සම්බන්ධයි කියලා. ඉතින් ක්‍රීඩාව ගැන දන්න පුංචි ළමයෙකුට උනත් තේරෙනවා පරිපාලකයන්ට තරඟ පාවා දෙන්න බෑ කියලා. කාමරවල ඉඳගෙන ක්‍රීඩාව නරඹන අයට තරග පාවා දෙන්න බැරි බවත් තරග පාවාදීම සිදු කළ හැක්කේ ක්‍රීඩකයන්ට පමණක් බවත් ඕන කෙනෙකුට වැටහෙනවා. මේ ක්‍රීඩා  ඇමතිවරයාට ඒ වගේ සරල දෙයක් වත් තේරුම් ගන්න බෑ.                                                                                                 

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පලකල ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, අපි කල්පනා කරන්න ඕනේ මේ ක්‍රීඩකයන්ට ඇයි මේ වගේ චෝදනා වලට මුහුන දෙන්න වුනේ කියලා. දැනට සති කීපයකට කලින් රජය රුපියල් කෝටි 40 ක් වැය කොට නව ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න උත්සාහ කළා. මමත් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් වශයෙන් දන්නවා මේ රටේ ක්‍රීඩාංගන අවශ්‍ය තරමට  තිබෙන බව .මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ඕනාවටත් වඩා තිබෙන නිසා සංගක්කාර ,මහේල ඇතුළු ක්‍රීඩකයන් ඒකට විරුද්ධ අදහස් පළ කළා. ඒකට පලිගැනීමක් වශයෙන් තමයි මේ වගේ අභූත චෝදනාවක් ඒ ක්‍රීඩකයන්ට එල්ල කළේ. අප රටේ ක්‍රීඩාව වගේම ක්‍රීඩකයන් ද ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් වූ මෙම චෝදනා එල්ල කළ අයවලුන් හට එරෙහිව නීතිමය පියවර ගන්නේ දැයි අපි ඉදිරි දින කිහිපය තුළ දැඩි විමසිල්ලෙන් බලා සිටිනවා යනුවෙන් ද සඳහන් කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *