බෝපත්තලාව ගොවිපල සේවකයින් දොට්ට දමයි

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලේ මැණික්පාලම කොටස් තාවකාලික වැඩ තහනමකට ලක් වි ඇති සේවකයින් 24 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එම ගොවිපලෙන් ඉවත් කිරිමට ගොවිපල භාර පාලන අධිකාරිය විසින් මේ වන විට කටයුතු කර ඇති බව වැඩ තහනමට ලක් වු සේවකයින් සහ පවසයි.

තමන් බෝපත්තලාව රජයේ ගොවිපලේ පරම්පරා 4 ක කාලයක් කම්කරුවන් වශයෙන් අඩු වැටුපකට සේවය කරන බවත් , ඊට අමතරව ගොවිපලේ පාලන අධිකාරිය මගින් ලබා දි ඇති කුඩා ඉඩම් කැබැල්ලක එලවළු වගාව සිදු කරමින් තම ජිවන මාර්ගය සළසා ගෙන ඇති  බවත් වැඩ තහනමට ලක් වු සේවකයෝ පැවසූහ.

බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලේ පාලන අධිකාරිය සමග මිට වසර  තුනහමාරකට ප්‍රථම ඇති වු  ගැටළුවක් හේතුවෙන් සේවකයින් 24 දෙනෙකුගේ සේවය  තහනම් කර නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත්, සේවය අත්හිටවීමට ලක් වූ 24 දෙනාද තලවකැලේ කම්කරු විනිශ්චය සභාවේ ගොවිපොලේ පාලන අධිකාරියට එරෙහිව නීතිමය පියවර ගෙන එම අධිකරණ කටයුතුද මේ වන විට සිදු වෙමින් පවතින බව වැඩ තහනමට ලක් වු සේවකයින් පැවසිය.

අධිකරණ  ක්‍රියාදාමය එසේ පැවතියදී ගොවිපලේ පාලන අධිකාරිය විසින් මේ වන විට තමන් පදිංචි නිල නිවාසවලින් ඉවත් කිරිමට ක්‍රියා කර  ඇති අතර    නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවකට මේ මස 24 දින පෙනි සිටින ලෙස  නොතීසිද නිකුත් කර ඇති බව එම සේවකයෝ වැඩිදුරටත් පැවසූහ.

“තම දෙමව්පියන්ද මෙම ගොවිපලේ වසර ගණනාවක් සේවය කල බවත් තමන්ට වෙනත් ඉඩමක් හෝ නිවසක් නොමැති බවත් , පවත්නා තත්ත්වය මත  ගොවිපලෙහි සේවය අත්හිටුවා ඇති තමන් සහ  පවුල්වල සාමාජිකයන් ගොවිපලෙන් ඉවත් කළහොත්  යාමට කිසිදු ස්ථානයක් නොමැතිව  දැඩි අසිරුතාවයට පත් වන  බවයි එම සේවකයින් කියා සිටින්නේ”.

තම ගැටළුව සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාට සහ මැති ඇමතිවරුන්ට දැනුම් දි ඇති බවද  එම සේවකයින් වැඩිදුරටත් පැවසිය.

තාවකාලිකව වැඩ තහනමට ලක් වු සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් ගොවිපලෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවට කරන චෝදනා සම්බන්ධයෙන්  බෝපත්තලාව රජයේ ගොවිපලේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුනිල් ගුණරත්න මහතාගෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එම සේවකයින් ගොවිපලින් ඉවත් කිරිමට පාලන අධිකාරිය විසින් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවත් , මේ සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ තමන්ට මීට වඩා පිළිතුරු දිය නොහැකි බවත්ය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *