භූ කම්පන, කඳුකර ජලාශවලට බලපෑමක් නෑ.

කුණ්ඩසාලේ ආශ්‍රිත පසුගිය දිනවල ඇතිවූ භූ කම්පන වලින් වික්ටෝරියා ජලාශය ඇතුළු කිසිදු ප්‍රධාන ජලාශයකට බලපෑමක් සිදුව නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ රෝහණ ඇරුප්පල මහතා පවසයි.

වික්ටෝරියා වේල්ල භූ කම්පන සම්බන්ධව විශේෂ අධ්‍යන්‍යයක් කරමින් ඒවාට ඔරොත්තු දෙන ආකාරයට ඉදිකර තිබෙන බවත් පසුගිය දිනවල දිගන හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල ඇතිවූ කම්පන ඉතාමත්ම සුළු ඒවා බැවින් ඒවායින් කිසිදු බලපෑමක් වේල්ලට නොමැති බවට සහතික විය හැකි බවත් ඒ මහතා කීය.

වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ පසුගිය තෙමසක කාලයේදී සිදුවූ භූ කම්පන වල ස්වභාවය හා ඉන් සමාජයට සිදුවන බලපෑම සාකච්ඡා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඊයේ (10) කැඳවා තිබූ රැස්වීමකදී අරුප්පල මහතා මේ බව ප්‍රකාශ කළේය. භූ විද්‍යා හා පතල් කාර්යාංශය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය,මහවැලි අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක නියෝජිතයින් මෙම රැස්වීමට පැමිණි සිටියහ.

උපකරණ 400 ක් මගින් දෛනිකව පැය 24 පුරා වේල්ල නිරීක්ෂණය කරන බවත් මෙම කම්පන වලින් මොනයම් හෝ බලපෑමක් වන්නේ නම් ඉතාම කෙටි කාලයකදී එය දැන ගැනීමට හැකියාව තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය. මෙහිදී අදහස් දැක්වූ  භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතා දිගන ආශ්‍රිතව සිදුවූ භූ කම්පන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත්කර තිබෙන බව පැවසුවේය.

ශ්‍රී ලංකාව තුළ භූ කම්පන මාන 04ක් මේ වන විට ස්ථාපිත කර තිබෙන බවත් ඒවායින්  වඩාත් නිවැරදි ආකාරයේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය. මෙම සාකච්ඡාවේදී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගනිමින් එළඹෙන 22 වැනිදා වික්ටෝරියා වේල්ල නිරීක්ෂණය කිරීම සඳහා යෑමට ආණ්ඩුකාරවරයා තීරණය කළේය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න,ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්,මහනුවර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *