“මං යන්නේ තාත්තගේ අඩි පාරේ” ජීවන් තොණ්ඩමාන්

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසු පොදුජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවේ පුරප්පාඩු වූ අපේක්ෂක ධූරයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටින්නේ තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන්ය. බැරිස්ටර් නීතිවේදියෙක් වන විසිහය හැවිරිදි ජීවන් තොණ්ඩමන් මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ඔබේ පියා වසර 25 ක කාලයක් මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමින් වතුකරයේ ජනතාවට නායකත්වය දුන් ඔබේ පියා මියගියේ කිසිවකුත් අපේක්ෂා නොකළ අවස්ථාවක.ඒත් සමඟ නොසිතූ අයුරින් දේශපාලනයට යොමුවීමට ඔබට සිදුවුනා නේද?

තාත්තාගේ මරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක ධූරය ලබගෙන තරඟ කරන්න කියලා ලංකා කම්කරු කොංග්‍රසයේ විධායක සභාව යෝජනා කළා. ඒ අනුව තමයි මම මහ මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කළේ. මෙතරම් ඉක්මනට තාත්තා අපිව අතහැරලා යයි කියලා මම නෙවෙයි මේ රටේ කවුරුවත් හිතුවේ නැහැ. නොසිතූ අවස්ථාවක සිදුවූ ඔහුගේ මරණය නොසිතූ අයුරින් මාව ක්‍රියාකාරී දේශපාලනයට යොමු කළා. මගේ පියා වතුකරයේ ජනතාව වෙනුවෙන් නිතරම කැපවීමෙන් කටයුතු කළ නිසා අපේ පවුල සමඟ තාත්තට නිතරම ඉන්න අවස්ථාව ලැබුණේ නැහැ. මම වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ යි. දේශාපලනයට එන්න මුලින් මගේ අදහසක් තිබුණේ නැහැ. තාත්තා තමයි මාව ලංකාවට ගෙන්නගෙන ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ සංවිධානයේ නායකත්වය ලබාදුන්නේ. තාත්තා වතුකරයේ ජනතාවට නිතරම කියපු දෙයක් තමයි එකමුතුව කළොත් ජයග්‍රහණ රැසක් ලබා ගන්න පුළුවන් කියන එක. තාත්තාගේ අභාවයෙන් පස්සේ වතුකරයේ ජනතාව එකට එකතු වී සිටිනවා.  මට පාර්ලිමේන්තුවට පිවිසෙන්න අවස්ථාව ලබාදුන්නොත් තාත්තාගේ සිහිනය සැබෑ කරන බවට මම වතුකරයේ ජනතාවට පොරොන්දු වෙනවා.

ඔබ දේශපාලනයට ආධුනිකයෙක්.නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ජනතාවට නායකත්වය දෙන පක්ෂ අතර තිබෙන්නේ දැඩි තරඟකාරීත්වයක්.මෙයට මුහුණ දීමට ඔබට හැකියාව තිබෙනවාද?

දේශපාලනයේදී වඩාත් වැදගත් වන්නේ පළපුරුද්දට වඩා ජනතාවට සේවය කිරීම සඳහා අවංක වුවමනාවක් තිබීමයි. ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ සංවිධානයේ සභාපති ලෙස මම වසර තුනක පමණ කාලයක් තිස්සේ කටයුතු කරනවා. මේ තනතුරු බාරදෙන කොට තාත්තා කිව්වේ ජනතාව ගැන නොහිතා වැඩකරන දේශපාලනඥයින්ට ඉදිරි ගමනක් නැහැ කියලයි. කොච්චර දේශපාලන දැනුම තිබුණත් වැඩක් නැහැ ජනතාවගේ හැඟීම් තේරුම් ගන්න බැරිනම්. අපිට ඡන්දය දීලා ජනතාව අපිව පාර්ලිමේන්තුවට යවන්නේ ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබාගන්න මිස අපේ ප්‍රශ්න විසඳ ගන්න නොවෙයි. තාත්තා හැම වෙලාවෙම ජනතාවගේ පැත්තේ ඉඳලා දේශපාලනය කළ කෙනෙක්. මට කා එක්කවත් තරඟයක් නැහැ. ජනතාවට සේවය කරන්න මොකටද තරඟයක්. අපි හරියට වැඩකරන කොට ජනතාව තීරණය කරයි කාටද ඡන්දය දෙන්න ඕන කියලා.

ඔබගේ පියාගේ මරණයත් සමඟ විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.ඇතැම් ඒවා මතබේදයට තුඩුදෙන ඒවා

මගේ පියා පුටුවෙන් වැටුණා කියලා සමාජ මාධ්‍ය ජාලාවල පළවුණා. තවත් අවස්ථාවක මාගේ පියාව මම තල්ලු කළා කියලා තිබුණා. තාත්තා නැතිවෙන කොට ළඟ හිටියේ මමයි මගේ දෙවනි සහෝදරියයි තාත්තාගේ ආරක්ෂක අංශයේ නිලධාරිනුත් පමණයි. ස්වයං නිරෝධානයට යොමු වෙලා ඉන්න මගේ වැඩිමහල් සහෝදරිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්විමට කොළඹ ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයට අලුයම් කාලයේ රහසිගතව ඇවිල්ලා විනාඩි 15 ක් හිටියා කියලත් චෝදනා එල්ල වුණා. මේවා කිසිදු පදනමක් නැති කතා. පියාගේ අභාවය දැනගත් විගස ඕමානයේ සිටින මගේ වැඩිමහල් සහෝදරිය ඕමාන් රජයේ නිරෝධායන සහතිකයක් රැගෙන ලංකාවට පැමිණියා. එයා ලංකාවට ආපු ගමන් ලංකාවේ සෞඛ්‍යය බලධාරින් විසින් නිරෝධායන රෙගුලාසි වලට අනුව දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කළා. ඇය මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක ස්වයං නිරෝධනයට යොමු වෙලයි සිටින්නේ. ඒ සම්බන්ධව සහ පියාගේ හදිසි අභාවය පිළිබදව සමාජ මාධ්‍ය වල අපිට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රචාර ගණනාවක් රැගෙන ගියා. ඒ ගැන හරිම කණගාටුයි. මියගියේ ආසියාවම පිළිගත් නායකයෙක්. වසර 30 ක් මේ රටේ දේශපාලනය කරපු නායකයෙක්. එහෙම කෙනෙකුගේ දේහය තැන්පත් කරලා තියෙන තැනට රහසිගතව ඇවිල්ලා අවසන් ගෞරව දැක්වීමට අවස්ථාවක් තියෙයි කියලා ඔයා විශ්වාස කරනවාද? පියාගේ දේහය තැන්පත් කරතිබූ සෑම තැනකම මාධ්‍යවේදීන්,ආරක්ෂක අංශ නිලධාරින් වගේම සෞඛ්‍ය අංශ නිලධාරින් හිටියා. ඒ අයගේ ඇස් වහලා මගේ වැඩිමහල් සහෝදරියට පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පුළුවන්ද

මේ සිදුවීම් පසුපස දේශපාලනයක් ක්‍රියාත්මකයි කියලා ඔබ විශ්වාද කරනවාද?

එක් අවස්ථාවක මගේ දෙවැනි සහෝදරියගේත් තවත් අවස්ථාවක සෙන්දිල් තොණ්ඩමන් අයියගේ බිරිඳගේත් ඡායාරූප පෙන්වලා ඒ තමයි මගේ වැඩිමහල් සහෝදරිය කියලා සමාජ ජාලවල පළ කරලා තිබුණා. හදිසියේ හෘදයාබාධයක් ඇතිවුණ වෙලාවේ තාත්තව ජයවර්ධනපුර රෝහලට රැගෙන නොගොස් ඇයි තලංගම ප්‍රාදේශිය රෝහලට අරගෙන ගියේ කියලත් සමහරු ප්‍රශ්න කරලා තිබුණා. මගේ පියා අවසන් හුස්ම හෙළුවේ මගේ උකුලේ. ඒ වෙලාවේ මගේ පියා රැගෙන යන්නේ කොහෙටද කියලා මට හිතා ගන්න බැරුව හිටියේ. අපේ බත්තරමුල්ලේ නිවසට ආසන්නම රෝහල තලංගම ප්‍රාදේශිය රෝහල කියලා කිව්ව නිසා අපි පාරවල් අහගෙන එතන්ට ගියා.පියාගේ මරණයෙන් දේශාපලන වාසි ලබාගැනිමටත් අපේ තොණ්මන් පවුලට අපහාස කරන්නත් එපා කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඔබ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට දුරකතනයෙන් තර්ජනය කළ බවටත් චෝදනාවක් එල්ල වෙනවා.

මම එහෙම තර්ජනයක් කළේ නැහැ. පියාගේ අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසි වලට අනුව සිදුකළ යුතු ආකාරය පිළිබදව සෞඛ්‍යය අංශ වෙත උපදෙස් ලබා දෙන්න කියලා සෞඛ්‍යය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගෙන් ඉල්ලීමක් කළා පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අවස්ථාව උදාකරලා දුන්නත් අවසන් කටයුතු සියල්ල සිදුකළේ නිරෝධායන රෙගුලාසි වලට අනුකූලවයි.

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පත්වන්නේ ඔබද?

අද බොහෝ දෙනෙකුට ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය ප්‍රශ්නයක් වෙලා. අපිට තවම ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ. ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා තෝරන්නේ පක්ෂයේ විධායක සභාව මගින්. විධායක සභාව ඒක අවශ්‍ය වෙලාවට කරයි. කම්කරු කොංග්‍රසයේ නායකත්වය කාට හිමි වුණත් මගේ පියා වතුකරයේ ජනතාව වෙනුවෙන් රැගෙන ගිය වැඩපිළිවෙළ එලෙසින්ම සිදුකරනවා. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. අවස්ථාවාදි දේශපාලනඥයින් චෝදනා කරනවා ලංකා කම්කරු කොංග්‍රසය කියන්නේ තොණ්ඩමන් පරම්පරාවටම අයිති බූදලයක් කියලා. එහෙම දෙයක් ලංකා කම්කරු කොංග්‍රස් ව්‍යවස්ථාවේ නැහැ. එහෙම තිබුණා නම් මගේ පියා අභවප්‍රාප්ත වු විගසම ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය මට හිමිවෙන්න තිබුණා. එහෙම වුණේ නැහැ. එහෙම වුණා නම් සියලු දෙනාම ලංකා කම්කරු කොංග්‍රසයේ මීළඟ නායකයා ජිවන් තොණ්ඩමන් කියලා වතුකරයේම පොස්ටර් ගහනවානේ. එහෙම වුනාද?.අද අසියාවේ දේශපාලනය ගැන බැලුවම පරම්පරාවෙන් දේශාපාලනයට පිවිසුණු ගොඩ දෙනෙක් ඉන්නවා. ඒක ලංකා කම්කරු කොංග්‍රසයට විතරක් පොදු වූ කාරණාවක් නොවෙයි. එහෙම පරම්පරාවෙන් දේශපාලනය කරපු බොහෝ පිරිසක් අද දේශපාලනයෙන් සමු අරන් තියෙනවා. ඒකට හේතුව ජනතාව ඔහුන්ව ප්‍රතික්ෂේප කිරීමයි. පරම්පරා උරුමයකින් දේශපාලනයට ආවත් දේශපාලනයේ රැඳෙන්න වැදගත් වෙන්නේ තමන් කරන වැඩයි. ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය තෝරන්නේ ජාතික සභාව විසිනුයි.

ජාතික සභාව ළඟදී රැස්වෙනවද?

පියාගේ අභාවය නිසා දැන්මම ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව එක්රැස් කරන්න අපිටඅදහසක් නැහැ. ඒක කවදා සිද්ධවෙයිද කියලා දැන්ම කියන්නත් බැහැ. මගේ පියා අප අතර නැතත් මගේ මවගෙන් සහ මගේ සහෝදරියන්ගෙන් මගේ ඉදිරි දේශපාලන කටයුතු වලට නිරන්තරයෙන්ම ආශිර්වාදය ලැබෙනවා. මගේ ලොකු අක්කා ඕමාන් රාජ්‍යෙයේ වෛද්‍යවරියක්. දෙවැනි අක්කා තමයි තාත්තගේ හොඳම සුරතලා. එයා තාත්තට නිතරම කියනවා වතුකරයේ තරුණියන්ට හොඳ රැකියා අවස්ථා ලබාදෙන්න කියලා. පියාගේ අභාවයෙන් පසුව එයාටත් වුවමනාවක් තියෙනවා වතුකරයේ තරුණියන් වෙනුවෙන් පියා වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනි කියලා.

දිගු කලක් විදේශ රටක ජීවත්වූ ඔබට වතුකරයේ ජනතා ප්‍රශ්න ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද?

වතුකරයේ තරුණ තරුණියන්ගේ ගැටලු මම හොඳින් දන්නවා. හොඳ අධ්‍යාපනයක් ලද වතුකරයේ තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන්නවා සුදුසුකම් වලට නොගැලපෙන රැකියා කරන. මගේ මුත්තාගේ කාලයේ (සෞම්‍යමූර්ති තොණ්ඩමන් ) ඇඟළුම් කර්මාන්ත ක්ෂෙත්‍රය හොඳින් තිබුණා. ඒ නිසා වතුකරයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලැබුණා. දැන් එහෙම නැහැ.මට ගොඩක් දෙනෙක් චෝදනා කරනවා දේශපාලන පළපුරුද්දක් නැහැ කියලා. මම ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ සංවිධානයේ අවුරුදු තුනක් නායකයා වශයෙන් ක්‍රියාකාරිව කටයුතු කළා. මගේ පියා මට කියලා දුන්න දෙයක් තමයි හොඳ දේවල් කරන්න පළපුරුද්දක් අවශ්‍යය නෑ කියන එක.

පසුගිය මැතිවරණ වලදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිවාසි අත්වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමටයි. මෙවර එම තත්ත්වය වෙනස් වෙයිද?

මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණ ස්ථිර ලෙසම තුනෙන් දෙකක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන්නවා. ඒකට හේතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි මේ රටේ ජනතාව තබා ඇති විශ්වාසය හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයයි. කොවිඩ් -19 වෛරසය පැතිර යාමේ අවධානම සම්බන්ධයෙන් මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ ආකාරය පිළිබඳව රටේ පමණක් නොව ලෝකයේම ප්‍රශංසාව ලැබී තිබෙනවා. ජනතාව තුළ එතුමා කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. ජනාධිපතිවරණයේදි එතුමා ලක්ෂ 14 ක වැඩි ජන්ද ප්‍රමාණයක් ගත්තා. නුවරඑළිය හා යාපනය පමණයි කොළ පාට වෙලා තිබුණේ. මේ වනවිට යාපනයේ ජනතාවත්,වතුකරයේ ජනතාවත් වත්මන් ජනාධිපතිතුමා අගමැතිවරයා රට ගොඩනැගීමට කටයුතු කරන ආකාරයත් කොවිඩි- 19 වෛසරය මෙරට තුළ පැතිර යාම පාලනය කිරිමටත් කටයුතු කරන ආකාරයත් ගැන විශාල පැහැදීමකින් ඉන්නේ. මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය අපි උඩුයටිකුරු කරනවා. ජනතාව ඒකට දැන් පෙළගැසී අවසානයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *