මගී ප්‍රවාහන සේවය දියුණු කිරීමට කඩිනම් පියවර – දිළුම්

මහජනතාවට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් මගී ප්‍රවාහන සේවයක් ලබාදීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය වාහන නියාමන, බස් මගී ප්‍රවාහන,දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයෙ  දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා තුනෙන් දෙකක ජනවරමක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ජනතාව ඉහළම ප්‍රතිචාරය දක්වා තිබෙන බවත් ආණ්ඩුව වැඩිකල් නොගොස් ජනතා අපේක්ෂා ඉටුකරන බවත් ඒ මහතා කීය.

පොදු ප්‍රවාහන සේවා වලදී මගී ජනතාව දැඩි අපහසුතාව මඟ හැරවීම පිණිස විශේෂ අවධානයක් යොමුකර  වැඩකටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.

මෙවර මහ මැතිවරණයේදී තම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සෙංකඩගල ආසනයේ ජනතාවට ස්තූතිය පල කිරීම සඳහා මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී පෙරේදා (14) පැවැති උත්සවයකදී අමුණුගම මහතා මේබව ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ආසන වල ජනතාව පොදුවේ ආණ්ඩුවෙන් අපේක්ෂාකරන දේවල් මොනවාද යන්න සම්බන්ධව තමන් හොඳින් දැනුවත් බවත් ඒවා කඩිනමින් ඉටුකර දීමට පියවර ගන්නා බවත් ඒ මහතා පැවසුවේය.

පසුගිය යහ පාලන ආණ්ඩුව රණවිරු සැමරුම් පවා අවලංගු කරමින් රණවිරුන් අමතක කර ගමනක් ගිය බවත් මහනුවර මයිලපිටියේ රණවිරු ස්මාරකය අභියස තමන් සිව් වසරක් පුරාවට රණවිරු සැමරුම සිදුකළ බවත් ඇමැතිවරයා පසුගිය මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ රණවිරුවන් තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කළ කැපවීම අගයන බවද අවධාරණය කළේය.

මැතිවරණයකින් පසු ජයගත් කණ්ඩායම හා අලුතින් පිරිස් එකතු වීම සාමාන්‍ය දෙයක් බවත් ඔවුන්ගේ පැමිණීම වැලැක්විය නොහැකි වුවත් මුලින් සිටි පිරිස මතකයේ තබා ගැනීම වැදගත් බවත් ඒ මහතා කීය.

ජනපතිතුමන් අමාත්‍යාංශ බාරදී විෂය පථ බෙදා වෙන්කර දී තිබුණත් ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමේදී අදාළ ප්‍රශ්නය අනුව අනෙකුත් අමාත්‍යාංශවල සහය ගැනීමට හැකි බවත් මේ නිසා මහනුවර ජනතාවගේ  සියලු ගැටලු වලට ඉතා ඉක්මනින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවත් අමුණුගම මහතා පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *