මගේ දේශපාලනයට ජනතාව ආදරෙයි – අගමැති මහින්ද

පනස් වසරක දේශපාලන භූමිකාව තුළ රටට විය යුතු සේවය නිසිලෙස ඉටුකළ බවට ඇතිවන හැඟීම තුළින් උපදින සතුට තමන් නිරන්තරව අත්විඳින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදය පරාජය කරමින් රට සංවර්ධනය කරා මෙහෙයවීමට තමන්ට හැකිවීම පිළිබඳව සතුටුවන බවද ඒ මහතා කීය.

ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ඊයේ (30) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. වසර පනහක් යනු ඉතා දීර්ඝ කාලයක් බවත් එතරම් කාලයක් මෙරට ජනතාවගේ ආදරය හා විශ්වාසය දිනාගනිමින් දේශපාලනයේ නිරත වීමට තමන්ට වාසනාව ලැබී තිබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිච්ච මල් වට්ටියක් ලබාදී අගමැතිවරයාව පිිළිගෙන දළදා සමිඳුන් වැඩසිටින කුටිය වෙත කැඳවාගෙන යනු ලැබීය. අනතුරුව ඒ මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දශක පහක දේශපාලන දිවියට සුබ පතමින් ඒ මහතාගේ අනාගත දේශපාලන කටයුතු සඳහා ආශිර්වාද කළහ. මෙහිදී අගමැතිවරයා හැත්තෑහත් වන ජන්ම දිනය නිමිත්තෙන් මල්වතු මහනාහිමියන්ට සුබ පැතුම් පිරිනැමුවේය. අස්ගිරි මහ විහාරයට ගිය මහින්ද රාජපක්ෂ මහතාට මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ එම පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද,අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන යන නාහිමිවරු  පිර්ත් සජ්ජායනයකර සෙත් පැතූහ. මෙම අවස්ථාවට හිටපු රාජ්‍ය ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල,ලොහාන් රත්වත්ත,දිළුම් අමුණුගම යන මහත්වරුද සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *