මනුස්සකම සරසන පාට පාට ආදර කතාවක්

“මනුස්සකම පැත්තෙන් ගත්තම අපේ කතාව හරිම සාරවත් එකක්. මං හිතනවා ජනතා විමුක්ති පෙරමුණ කැරලි ගහපු 1971 අවුරුද්දෙ මට යාපනයට යන්න ලැබීම හරිම දෛවෝපගතයි කියලා. ඒ ගමන මගේ ජීවිතය වෙනස් කරලා මාව හැබෑ මිනිහෙක් කළා”. ඔහු මාතලේ යටවත්තෙ පියදාස. ඇය යාපනයේ පරමේශ්වරී. උතුරේ යාපනය නගරයේදී පියදාසට පරමේශ්වරී මුණ ගැසීමේ අහඹු කතාවේ සෞන්දර්යය කියන්නට අද ඇය ජීවතුන් අතර නැත. එහෙත් පියදාසට තමන්ගේ සාක්කියෙන් ඇගේ හෘද සාක්ෂියද විදාරණය කළ හැකි ය.

1944 දී පියදාස උපන්නේ අතිශය ගම්බද පරිසරයක ය. ගමට යාබදව තිබුණේ මුලින්ම රබර් සිටුවා තිබූ පසුව පොල් හා වෙනත් වැවිලි බෝග සිටවූ වතු යායකි. එහි ඩිවිෂන තුනේම ලැයිම් ගෙවල ඉන්දියානු වතු දෙමළ ජනයා පදිංචිව සිටියහ. ඔවුන්ගේ බඩ රස්සාව වතු වැඩ වූ අතර ගම්කාරයින් වු පියදාසලාට ජීවත්වන්නට තමන්ගේම කියා ඉඩමක් කඩමක් තිබුණත් මහා ආර්ථික ශක්තියක් නැති පංති සාම්‍යතාවය ඔවුන් සියල්ලෝ එක පෙළට සිටුවා තැබුවේය. 56 ජාතිවාදී කලබලවලදීවත් වත්තේ දෙමළ ජනයාට හිරිහැරයක් වන්නට ගම්වැස්සෝ ඉඩ නුදුන්නේ මේ සමතැන් නිසාමය.

“අපේ ගමටයි ඔය වත්තටයි පහළින් තිබ්බෙ දොඩම්ගස්ලන්ද මදුරාගොඩ මිනිරන් පතල්. ඒවායෙ අයිතිකාරයො කොතලාවල පරම්පරාවෙ අය. පතල්වල වැඩකරපු අය ඔක්කොම සිංහල. ඒ ගොල්ලන්ගෙ ජාතිවාදී බවකුත් තිබුණා. හැබැයි ඒ මිනිස්සුවත් මේ වත්තෙ මිනිස්සුන්ට හිරිහැර කරන්න ආවෙ නෑ. මොකද කවුරුත් දන්නවා ගමේ අය වත්තෙ මිනිස්සුන්ට කරදර කරන්න නොදෙන බව.” පියදාස උගත්තේ යටවත්ත ශ්‍රී වීරපරාක්‍රම මහා විද්‍යාලයෙනි. එවක ඒ පාසලට දෙමළ හා මුස්ලිම් සිසුන්ද ආහ. ඔවුන් හා පියදාසට තිබුණේ සාමාන්‍ය දැනහැඳුනුම්කමකි. ඉන් ඔබ්බට ගොස් අන්තර් සම්බන්ධතා වර්ධනය වන්නට හෝ ඒ පිළිබඳ වර්ණනා ලියැවෙන්නට තරම් බෙදීම් ඔවුනතර තිබුණේ හෝ පියදාස වැනි ගම්බද දරුවන්ට එවැන්නක් ගැන කල්පනා කරන්නටවත් අවශ්‍යතාවයක් නොවීය.

පියදාස ඒ කාලයේ හැටියට ගමේ මුල්පෙළෙහි උගතෙකි. ඔහු උසස්පෙළ විභාගය සමත් වී විශ්ව විද්‍යාල පිවිසුම දිනුවේය. “ඒත් අපි දුප්පත් මිනිස්සු. මට විශ්ව විද්‍යාලෙ යන්න ආර්ථික තත්ත්වය ඉඩ දුන්නෙ නෑ. මං කළේ රස්සා හොය හොයා ඇප්ලිකේෂන් දාපු එක.”

ජීවිතය මුණ ගැහෙන රස්සාව

“අපේ නෑ වෙන අයියා කෙනෙක් හිටියා කණ්ඩලමෙ ඉඩමක් ලැබිලා ගොවිතැන් කරමින්. එයා මාව අඬගහගෙන ගියා නිකම්ම ඉන්න හින්දා ගිහින් කුඹුරු වැඩ කරමු කියලා. මං එයාට සෑහෙන උදව් කළා. ඒකෙන් එයත් දියුණු වෙලා කුඹුරු බද්දටත් අරගෙන යමක් කමක් කරන්න පුලුවන් මිනිහෙක් වුණා. එයාගෙ නංගි නිතරම කිව්වා අපේ අයියා තැනකට ආවෙ පියදාස අයියා නිසා තමයි කියලා. එයා තමයි පොලීසියට කට්ටිය ගන්න දැන්වීමක් දැකලා ඇවිත් ඇප්ලිකේෂන් දාලා තියෙන්නෙ.”

ඒ අයදුම්පතට කැඳවීම් ලැබෙතත් ඔහුගේ වැඩි මනාපය තිබුණේ කණ්ඩලමට වී කුඹුරු වැඩකරන්නටය. එහෙත් ඔහු වෙනුවෙන් අයදුම්පත යොමුකළ අයියාත් නංගීත් ඉල්ලා සිටියේ පවුලේ කාහටවත් නොතිබූ ආණ්ඩුවේ රස්සාවකට ඔහු යා යුතු බවය.

“ඇරත් ඒක පොලීසියේ රස්සාවක්නෙ. අපේ අම්මත් කිව්වා ආණ්ඩුවේ රස්සාවක් කරන එක පවුලටම නම්බුවක් කියලා. මට මාතලේයි ඊටපස්සෙ නුවරයි සම්මුඛ පරීක්ෂණ තිබ්බා. ඒවයින් තේරිලා 1968 මැයි කොළඹ කොටුව පොලීසියෙ රාජකාරී භාර ගත්තා.” 

ඉක්බිති තෙවසරක ඇවෑමෙන් ඔහු යාපනය පොලීසියට මාරු කර යැවෙන්නේය. 1971 අවුරුද්ද ලංකාවේ දකුණට කැරැල්ලක අමිහිරි වේදනාව ගෙන දුන්නත් යාපනය ඇතුළු උතුරට එය සාමයේ හා ප්‍රීතියේ වකවානුවක් විය. යාපනයේ දුම්රිය නැවතුම්පොළට ආසන්නයේ තිබුණු සිංහල මහා විද්‍යාලයෙන් සිංහල දරුවන් නිදහසේ අධ්‍යාපනය ලබමින් සිටි සමය එයයි. දකුණේ සිංහලයින් යාපනයේ කඩ, බේකරි ඇතුළු ව්‍යාපාර කරමින්ද රජයේ සේවයේ නියුතු සිංහලයින් නිදහසේ රාජකාරි කරමින්ද සිය පවුල් සමගම යාපනයේ පදිංචිව සිටියහ. යාපනයේ ජනයා කිසිසේත් මේ සිංහලයින් ආගන්තුකයින් ලෙස සැළකුවේද නැත.

“ගමට අල්ලපු වත්තෙ දෙමළ අය හිටියට මට දෙමළ කතා කරන්න පුළුවන් වෙලා තිබුණෙ නෑ. ඒ නිසා මුලදි මාව දැම්මෙ යාපනය පොලීසියෙ ඇතුළෙ වැඩවලට. මාස කිපයකට පස්සෙ මට සිද්ධ වුණා එළියෙ රාජකාරිවලට යන්න. බස් ස්ටෑන්ඩ්වල පාරවල්වල වැඩකරද්දි මිනිස්සු එක්ක ගැවසිලා ටික ටික දෙමළ ඉගෙන ගත්තා.”

1972 අවුරුද්දෙ පියදාස යාපනය පොලීසියෙ රථවාහන අංශයෙ නිලධාරියෙක් ලෙස රාජකාරි කරමින් සිටියේ ය. ඔහුගෙත් චුන්නාකම් හි පරමේශ්වරීගෙත් නෙත් පළමුව එකට ගැටෙන්නේ ඒ වසරේ යාපනයේ මහා මාර්ගයකදීය. ඇය දිනපතා ඒ පාරෙහි උදේ සවස ගමන් ගන්නී ඔහු වෙත මිහිරි සිනහ තිළිණ කළාය.  “එයා එතකොට යාපනයේ සිද්ධායුර්වේද කොලීජියේ ඉගෙන ගන්නවා. මුලින් මුලින් මාත් එක්ක හිනාවෙලා පස්සෙ කතා කළා. මං එතකොට අකුරට වැඩකරන පොලිස් කාරයෙක් කියලා යාපනේ ප්‍රසිද්ධයි. සමහරවිට ඒක හේතුවක් වෙන්න ඇති එයා මට කතා කරන්න. කෙල්ලො එහෙමනෙ ඉතිං. පස්සෙ අපි කතා කරද්දි තේරුණා අපේ අදහස් සමානයි කියලා. පරමේශ්වරීට තමයි මුලින්ම වුවමනා වුණේ ආදර සම්බන්ධයක් පටන් ගන්න.”

ආදරයට නිශ්චිත පාටක් නොමැති බව හා එය නේක වර්ණ සුසංයෝගයක් බව ඔවුන්ගේ හදවත්වලට දැණුනු නිසා හා මනුස්සකමෙහි සියුම් භාවයන් ඊට ආමන්ත්‍රණය කළ නිසා ඔවුන් අතර තීව්ර සම්බන්ධයක් උපන. එහෙත් ඊට මුලින්ම විරෝධතාවයන් පැන නැගුණේ පරමේශ්වරීගේ පවුලෙනි. ඒ පියදාස සිංහල වූ නිසාය. විරෝධතාව අබියස ඇය අචලව හුන්නාය. අනුරාධපුර රේල්වේ ඉස්ටේසමේ පාලන නිලධාරියා වූ ඇගේ අයියා ත්‍යාගරාජාට පියදාස ගැන සොයා බලන්නට සිදුවන්නේ නංගී ඔහු මිස වෙන කිසිවෙකු හා විවාහ වන්නේ නැතැයි ස්ථිරවම පවසා තිබූ නිසාය. අන්තිමේදී ත්‍යාගරාජා සොයාගන්නේ පියදාස නමැති සුන්දර මිනිසාය. ඒ සොයාගැනීම විවාහයේ කැමැත්තයි.

“මම අපේ ගෙදරට කිව්වම නංගිලා එහෙම බොහොම විරුද්ධ වුණා මුලින්. ඒත් අම්මයි තාත්තයි කියලා තිබුණා අපිට විශ්වාසයි පුතා හරි දේ කරන බව කියලා. එතැනින්ම ප්‍රශ්නෙ විසඳුනා. පුංචි පහේ මංගල්ලයක් ගත්තා යාපනේදි. එයාලා එහේ සිරිතට දෙන්න ඕන දෑවැද්ද ගැන ඇහුවා. මං කිව්වා පරමේශ්වරී හිටියම ඇති කියලා. අපේ අම්මයි නංගිලයි මංගල්ලෙට ආවා. කසාදෙන් පස්සෙ මං පරමේශ්වරීත් එක්කම මාතලේ ආවා. එකම ප්‍රශ්නයයි අපිට තිබ්බෙ. එයාට සිංහල බෑ. ඒත් දෙමළ කියලා කවුරුත් එයාට වෙනසක් කළේ නෑ. අපේ අම්මටයි තාත්තටයි ටිකක් විතර දෙමළ පුළුවන් වෙලා තිබුණා.”

මල් ඉබේ පැහැ ගැන්වෙයි

2006 අවුරුද්දේ ජිවන ගමනේ විරාමය ලබන තෙක් ඇය ඔහු හා එකසිතින් විසුවාය. දිවයිනේ නන් දෙස රාජකාරි කළ ඔහු  කඳුකර ඇල්ලට අඹුදරුවන් සමග පැමිණ දශක දෙකකට වැඩි වී ය.  ඩොක්ටර් ඇන්ටි ලෙස අසල්වාසීන් ගේ ආදර ගෞරවයට පත් වූ හින්දු භක්තික ඇය කිතල්ඇල්ල පන්සලේද සමීප දායිකාවක වුවාය. ඔවුන්ගේ ආදරය  83 කළු ජූලියේ අමිහිරි මතකය පසුකර තිබුණේ උපද්‍රවයකින් තොරවය. ඒ වනවිට දරුණු යුද්ධයක් පසුකරමින් තිබුණේද නිසංසලේය. “යුද්ධෙ අන්තිම දරුණු කාලෙදිවත් අපිට අපි කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නැ. එයා මාත් එක්ක දකුණෙ හිටියා. අපි පුළුවන් විදියට චුන්නාකම්වල නෑයො බලන්න ගියා. එයාලට මාව ප්‍රශ්නයක් වුණේත් නෑ. සමහර දේවල් නම් අපිට නොලැබී යන්න ඇති. මං දන්නෙ නෑ හරියටම ඒත් මට උසස්වීම් එහෙම ලැබුණෙ නෑ. මේ කළවම සැක හිතෙන්නත් ඇති. අනික මං අයුක්තිය නම් ලොකු අයටවත් නැමුණෙත් නෑ.”  ඔවුන්ගේ ආදර උයනේ මල් තුනක් පිපුණේය. ලොකු දුව ක්‍රිශාන්ති ය. මද්දුම පුතා ප්‍රේම් ය. බාලයාද පුතෙකි. ඔහු නමින් ජයප්‍රශාන්ත් ය. “අපි දෙන්නට ප්‍රශ්නයක් වුණේ නෑ දරුවන්ගෙ අනන්‍යතාව හැදෙන විදිහ ගැන. ඉඩ දුන්නා දෙන්නගෙම සිරිත් විරිත් අනුව හැදෙන්න. අපි හිතුවා එයාලා තමන්ට ඕන කරන විදිය තෝරගනියි කියලා. හින්දු වගේම බෞද්ධ සම්ප්‍රදායන් දෙකටම අපේ ගෙදර ඉඩ තිබ්බා. පරමේශ්වරී මැරුණු දවසෙත් වතාවත් දෙකම කළා මම. ඉතිං ඒකෙන් හැමදෙයක්ම හිතුවට වඩා ගොඩක් හොඳ වුණා.”

පියදාසගේ හා පරමේශ්වරීගේ දරුවෝ ඒ මල් උයන තව තවත් වර්ණවත් කළහ. දියණිය ක්‍රිශාන්ති විවාහයට යාපනයෙන් දෙමළ සහකරුවෙකු සොයාගත්තාය. ඔවුන් අද නෝර්වේහී පදිංචිව ආදර කතාවක තවත් පරිච්ඡේදයක් ලියමින් සිටී. මද්දුම පුතා ප්‍රේම් ගේ ආදර කතාව මහා යුද්ධයක් විය. ඔහු පෙම් බැන්දේ වැලිමඩ පැත්තේ මුස්ලිම් යුවතියකටයි. දහසක් විරෝධතා මැද රහසේම ඇය කැන්දාගෙන එන්නට ඔහුට මව්පිය දිරිය ලැබුණි. ඔවුන් අද එක්සත් ජනපදයේ පදිංචිව ඉන්නේ ආදර කතාවක දේදුණු පාට තවරමිනි. බාලයා ජයප්‍රශාන්ත්ට වැල්ලවායෙ සිංහල කෙල්ලක් ගැන ආදරේ හිතුණේ ය. ඒ වනවිට පරමේශ්වරී ජීවතුන් අතර නැතත් ඇගේ හෘද සාක්ෂිය ගැන දන්නා පියදාස පුතාගේ කැමැත්තට ආශිර්වාද කළේය.

“ඕං ඔය විදියට තමයි ජීවිතේ සතුට මුණ ගැහෙන්නෙ. ආදරය කියන්නෙ අපි එකට ඉන්න එක. මාත් තව ටික කාලෙකින් යන්න යාවි. ඒත් අහිමිවුණු සමහර දේවල් එක්ක බලනකොට මට අයිති වෙච්ච දේවල්වල බර වැඩියි පුතා” තමන්ගේ පරමේශ්වරියගේ සේයාරුව තුරුළු කරගත් හෙතෙම මා සිය නිවසෙන් නික්මෙන මොහොතේද මානුෂීය ප්‍රේමය හමුවේ හැඟුම්බරව සිටියේය.

ලසන්ත ද සිල්වා.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *