මනෝ ගැන සටහනක්

අද්විතීය රංගධරයා ජයලත් මනෝරත්න ගැන පොරමඩුල්ල මධ්‍ය විද්‍යලයේ උගත් සමකාලීනයෙකුගේ මතක

පොරමඩලෙන් විත් රඟමඩලෙන් බැස ගිය
අපේ ගුරු තරුව……

“කන්ද උඩරට පුංචි සරසවිය” නමින් විරුදාවලිය ලද පොරමඩුල්ල මැදි මහ විදුහලෙන් රංගාවතරණය ට අත්පොත් තබා හෙළ නාට්‍ය වේදිකාව දික්විජය කළ යෝධයකු නිහඬවම වේදිකාවෙන් බැස ගොසිනි.
ඔහුගේ බැස යාම අප විදුහල් මාතාවටත් එහි ආදි සිසුන් වූ අපටත් දරාගත නො හැක්කකි.

ආදරණීය මනෝ අයියේ,

පදියපැලැල්ලේ සිට පොරමඩුල්ල මැදි මහ විදුහල දක්වා එන පාසල් බස් රථයෙන් දෙහිපේ ගමේ දී බස් රථයට ගොඩ වන ඔබ පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා මුළු මහත් රටටත් ලෝකයටත් අප විදුහල් මාතාවගේ කිතු ගොස රැගෙන ගියේය.
අප යන හැම තැනකම පාසල කොහේ දැයි විමසූ විට “පොරමඩුල්ල මැදි මහා විදුහල යැයි අපි සාඩම්බරයෙන් කියන්නෙමු. එවිට ඔවුන් අසන්නේ ඒ මනෝ ගිය විදුහල නො වේ දැයි කියාය. එපමණට ම ඔබ අපගේ විදුහලේ නම හැම හදවතකම සනිටුහන් කිරීමට තරම් පාසලට අභිමානයක් වූ කීර්තිමත් පොරමඩුලු වෙක් විය.
මෙරට කෘතහස්ත දේශපාලනඥයකු සේම නිදහස් අධ්‍යාපනයේ පියා වු සී.ඩබ්ලිවි. ඩබ්ලිව්. කන්නන්ගර මහතා වරක් පැවසුවේ පාසලේ නමින් ශිෂ්‍යයකු බැබලි ය යුතු නැති බවත් ශිෂ්‍යයකු විසින් පාසල බැබලවිය යුතු බවත් ය. ඔබ එය මැනවින් සපථ කළේ ය.
ඔබ අප පාසල් වේදිකාව ඔබේ කෙළිමඩල කරගත්තේ කර ගත්තේ 1965 වර්ෂයේදී ය. ඒ අප විදුහලේ ආචාර්ය වරයෙකු වු ආචාර්යවරයෙකු සුනිල් ශ්‍රියානන්ද මහතා විසින් නිෂ්පාදනය කළ “අස්ප ගුඩුං” නාට්‍යයෙනි. එම වසරේදී අප විදුහල විදුහල් මාතාව ඔබ වෙනුවෙන් සතුටු කඳුළු වැගිරූ වසරක් විය. ඒ සමස්ත ලංකා පාසල් නාට්‍ය උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනිමින් ඔබ අප විදුහල් මාතාවට සාඩම්බරයත්,ගෞරවයත්, උරුම කර දුන් වසර වීම නිසා ය.
ඔබේ යුගය සැබවින්ම පොරමඩුලු මැදි මහ විදුහලට නාට්‍ය වසන්තය උදා වූ සමයක් විය. සුනිල් ශ්‍රියානන්ද මහතා විසින් නිෂ්පාදනය කළ “කොත්මලේ හා මහදැන මුත්තා” “හවුලේ දෙව්ලොව” “එහෙනම් මං කියනවා” ” දස බිම්බර ” “වඳින්න ගිය දේවාලේ” වැනි වේදිකා නාට්‍ය රැසක් එම යුගයේ අප පාසල් වේදිකාවේ රංග ගත වී ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 1966 වර්ෂයේදී ඔබ ඇතුලත්වී හෙළ වේදිකාවේ යෝධ පහන් ටැඹ වූ මහාචාර්ය
එදිරිවීර සරච්චන්ද්‍රයන් හා බැඳුණු සුසංයෝගය මෙරට වේදිකා නාට්‍ය වංශ කතාවේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “ප්‍රේමතී ජායතී සෝකෝ” “මනමේ” “සිංහබාහු ” “මහාසාර” “වෙස්සන්තර” ” කදා වළලු” “එලොව ගිහින් මෙලොව ආවා” වැනි නාට්‍ය තුළින් ඔබ විශ්වවිද්‍යාල අවදියේ ප්‍රසිද්ධ වේදිකාවක ඔබේ අණසකට නතු කර ගත් අයුරු කරගත් අයුරු අපට මතකය.
එසේම සුගතපාල ද සිල්වාගේ “දුන්න දුනු ගමුවේ” හෙන්රි ජයසේනගේ “මකරා” “තවත් උදෑසනක්” “අහස් මාලිගා” දයානන්ද ගුණවර්ධනගේ “නරිබෑණා” “ජසයා සහ ලෙන්චිනා” රංජිත් ධර්මකීර්තිගේ “මෝදර මෝල” “මේඝ” ” අංගාරා ගඟ ගලා බසී ” ආචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ “පොකුරු වැස්ස” “සොක්‍රටීස්” කේ. බී. හේරත් ” මායාදේවි” “නාග ගුරුලා” ලූෂන් බුලත්සිංහලගේ “තාරාවෝ ඉගිලෙති” “රතු හැට්ටකාරි” කපිල කුමාර කාලිංගගේ “නෙළුම් පොකුණ” “රයිනෝසිරස්” නීල් අලස් ගේ “සිහින සාප්පුව” වැනි වේදිකා නාට්‍යයන් හි ඔබ කළ අති විශිෂ්ට රංගනයන් දෙස අප දෑස් දල්වා බලා සිටියෙමු .
එපමණක් නොව දෙහිපේ කනිෂ්ඨ කණිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යයකු සිටියදී ඔබේ පියාගේ සර්පිනාවත් ඩොල්කියත් රැගෙන ඔබේ යහළු යෙහෙළියන් හා එක්ව ඔබේ පියා ගැයූ පැරණි නාට්‍ය ගීත ග්රැමෆෝන් ගීතවල රඟත් හඟුරන්කෙත ප්‍රදේශයේ පාරම්පරික ගමි වූ දෙහිපේ, බෝධිමල්කඩ, ඉඩම්පිටිය, ඔකඳගල, මතුරට, කැටයා පතන යන ගම්මාන වල සැරි සරමින් කොහොඹා කංකාරිය, සොකරි, සඳකිඳුරු දාව, වෙස්සන්තර ජාතකය, වැනි කතා වලින් ඔබ උකහා ගත් දේත් මරදාන ටවර් රඟහලේදීත් ලුම්බිණි රඟහලේදීත් පොරමඩුලු වේදිකාවේදීත් දෙහිපේ වෙල්යායේදීත් රඟ දක්වන විට අප මවිත ව බලා සිටියෙමු.ඔබේ සෑම නාට්‍යයකටම හඟුරන්කෙත පැත්තේ ගමක නමක් කියන්නට ඔබ කවදාවත් අමතක කළේ නැත. ඔබේ සෑම නාට්‍යයක්ම දෙහිපෙ වෙලෙහි පිහිටි කමතක ගම්වාසීන් වෙනුවෙන් නොමිලේ රඟ දක්වන්නට තරම් ඔබ ගමේ සහෘදයන්ට කෘතවේදී වූ වග ද මෙහි සටහන් කරන්නේ ඔබ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙනි.ඒ ආභාෂයෙන් ඔබ විසින් නිෂ්පාදනය කළ “මහගිරිදඹ” “පුත්‍ර සමාගම” ” තල මල පිපිලා” ” අන්දරේලා” “ගුරු තරුව” ” ලෝකය තනි යායක්” “බූරු මහත්තයා” “සෙල්ලම් නිරිඳු” “හඬ නිහඬ” වැනි වේදිකා නාට්‍යවල ඔබගේ බෙර හඬ තවමත් අපේ සවන් පත් අතර රැව් පිළිරැව් දෙනු ඇසේ.
ඔබ අප විදුහල් මාතාවගේ කිතුගොස පතුරවා කළ ඒ උදාරතර මෙහෙවරට රනින් උපහාර කරමින් “තල මල පිපිලා” වේදිකා නාට්‍යය 1991 වර්ෂයේදී පොරමඩුලු වේදිකාව එකළු කළේ අප ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙනි. එදින ඔබගේ උපහාර දේශනය පවත්වන ලද්දේ ආචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසිනි. එදා ඔබ පැවසුවේ වේදිකා දහස් ගණනක රඟ පා ඇතත් එදින ඔබ ගැන කතා කරන්නට මද චකිතයක් ඔබට දැනෙන බවයි. ඔබ ඒ තරම්ම සංවේදී හදවතක් ඇත්තෙකු බව අප දනිමු.

ඔබ ඔබේ බල පරාක්‍රමය විහිදුවාලූ වූයේ ප්‍රසිද්ධ වේදිකාව තුළ පමණක් නොවේ. සිංහල සිනමාව තුළ ඔබ කළ බොහෝ රංගනයන් ප්‍රේක්ෂක හදවත් සමත් මුසපත් කළේ වරක් දෙවරක් නොවේ. 1979 තිරගත වූ ටයිටස් තොටවත්තගේ “හඳයා” චිත්‍රපටයෙන් ඇරඹි ඔබේ සිනමා සෞන්දර්ය චාරිකාව “ගෝල්” දක්වා පැමිණෙන විට ඔබ සිනමාවේ ඉමහත් පෙරළිකාර ගමන් මගක් සනිටුහන් කළ සිනමා නළුවෙකු බවට පත්ව සිටියේය. “සිරිබෝ අයියා” සූරිය අරණ” “මංගල තෑග්ග” “උමයංගනා” “සිසිල ගිනි ගනී” “ස්ත්‍රී” “සුදු සෙවණැලි” “ප්‍රේමවන්තයෝ” “සිරි රජසිරි” “ගිනි කිරිල්ලි” “බඹර වළල්ල” “හෝ ගානා පොකුණ” ආදී චිත්‍රපටවල ඔබ කළ රංගනය ප්‍රේක්ෂක ලොකු කුඩා කාගේත් හදවත්වල ගැඹුරුම තැනක ලැගුම් ගෙන ඇතුවාට සැක නැත. 2014 වර්ෂයේ “gobel Biascope” ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී “සූවිසි විවරණ” චිත්‍රපටය සඳහා ඔබ කළ රංගනය සම්මානයට පාත්‍රවීම තුලින් ඔබේ සිනමා රංගන හැකියාවට ජාත්‍යන්තර විනිශ්චයක් ලැබී තිබේ.එයින් අපි අමන්දානන්දයට පත් වීමු.

ඔබේ රංගන ප්‍රතිභාව දික්විජය කළ තවත් එක් සොඳුරු කලා ඉසව්වක් වූයේ වුයේ ටෙලිනාට්‍යය ශානරය බව නොකියාම බැරිය. “දූ දරුවෝ” “කන්දේගෙදර” “ගම්පෙරළිය” “පස්සේ ගෙනා මනමාලි” “බෝඩිම” “ඇබැද්දිය” “සකිසඳ එළියස්” ” සූරිය කුසුම” “උතුවන්කන්දේ සූර සරදියෙල්” ” වන බිමේ සිරකරුවෝ” “ඉරට හඬන මල්” “ගජමන් නෝනා” “සඳ අමාවකයි” “රම්‍ය සුරම්‍ය” සහ “වළාකුළු” වැනි ටෙලි නාට්‍ය තුළින් ඔබ රූපවාහිනිය වර්ණවත් කළ අයුරු ආලින්දයේ සිට අපි බලා සිටියෙමු.

එපමණකුදු නොවේ කවියට, නව කතාවට, මෙන්ම කෙටි කෙටිකතාවට ද ඔබ දැක්වූ සුහුරු බව “දොළොස්මහේ පහන” “දවස තවමත් තරුණයි” ” මිනිහට නින්ද යන්න ඇති” “පියදාස සහ කුමාරිය” වැනි ග්‍රන්ථ සාක්ෂි දරයි .

දයාබර මනෝ අයියේ ,
කලකට පෙර ඔබ සෑම වසරකදීම පොරමඩුලු විදු බිමේ ක්‍රීඩා පිටියේදී අප මුණ ගැසුනෙමු .ඒ අපගේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සව දවසටය. ඔබ පාසල් සමයේ මීටර් 100 , 200 ධාවන සූරයා වූ බවද අපි දනිමු . අපේ මලල ක්‍රීඩා උත්සවයට පැමිණි සෑම දිනකම ඔබ මීටර් 100 ආදි ශිෂ්‍යයන්ගේ තරගය දුවනු අපි ඔල්වරසන් දෙමින් බලා සිටියෙමු.
තව කොතෙක් ලිව්වත් ඔබ ගැන ලියන්නට ඇති දෑ නිමක් නැත. ඔබේ ජීවිතයම රංගන විශ්වවිද්‍යාලයකි. ඔබ හිටගෙන සිටියද, සිනහා වුවද, කතාකලද දැකිය හැක්කේ රංගන ප්‍රතිභාවම පමණකි. එවැනි කෘතහස්ත රංගන වේදියකු මේ බිමේ යළි කවදා පහළ වේ දැයි අපි නො දනිමු .
පුරා දශක පහකට අධික කාලයක් තිස්සේ ඔබගේ කිතු ගොසින් සාඩම්බර වූ අප විදුහල් මාතාව අද ඔබ වෙනුවෙන් කඳුළු වගුරමින් සිටියි. යළි පොරමඩුලු වේදිකාවේදීත් ක්‍රීඩා පිටියේදීත් අපි හමු නොවනු ඇති.
හෙළ කලා කෙත අස්වැද්දූ සොඳුරු රංගධරයාණෙනි, අපට මං තරුවක් වූ අපේ කාලයේ යුග පුරුෂයාණෙනි, විදුහල කෙහෙලි ලොවෙයි ජයදද නැංවූ පොරමඩුලු සුජාත පුත්‍රයාණෙනි, පොර මොඩලින් විත් රඟ මඩලින් බැස ගිය කෘතහස්ත කලාකරුවාණෙනි,යලි හමුවෙන තුරු ඔබට සුවබර නින්දක් !

අබේසිංහ හඳවලපිටිය

ලේකම්,
මාර්ග අමාත්‍යාංශය
ඌව පළාත් සභාව.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *