මව්බසට පෙම්බැන්ද සිරම්බිඅඩියේ කැෆර්වරු

මෙරට මුහුදු බඩ ප්‍රදේශය ආක්‍රමණය කරනු ලැබීමෙන් පසු අප්‍රිකානු සම්භවයක් ඇති නි‍ග්‍රෝ ජාතිකයින් දහසය වන සියවසේ මැද භාගයේදී පෘතුග්‍රීසීන් විසින් මෙරටට රැගෙන ආවේ වහල් සේවය සඳහාය.එලෙස ගෙනඑන ලද කාපිරි නො‍එසේ නම් කල්ලන් මෙරට ඉංග්‍රීන්ගේ යටත් විජිතයක් බවට පත්වන තුරුම මෙහි රඳවා තබා ගත්හ. සිය රට බලා යෑමට කැමැති කාපිරි ජනතාවට ඒ සඳහා අවකාශ ලබාදුන් ඉංග්‍රීසීන් මෙරට රැඳී සිටීමට කැමැති නිග්‍රෝ ජාතිකයින්ට එම අවස්ථාවද ලබා දී තිබේ.ඒ අනුව 1817 දී මෙරට ස්ථිර ලෙස පදිංචිවූ පිරිස සිලෝන් කැෆර් ලෙසින් අපේම ජන කණ්ඩායමක් ලෙස ගොඩනැගුණි.දිවයිනේ ප්‍රදේශ කිහිපයක දක්නට ලැබෙන සිලෝන් කැෆර් වරුන්ගේ වර්තමාන ප්‍රධාන වාස භූමි ප්‍රදේශය බවට පත්ව තිබෙන්නේ පුත්තලම සිරම්බිඅඩියයි.පෘතුග්‍රීසි බසින් කාපිරි යන්න හැඳින්වීමට Cafre යනුවෙන් භාවිත කරයි.ලන්දේසි බසින් එය Kaffer ය. ඉංග්‍රීසි බසින් මෙය Kaffir වීම නිසා මෙරට ස්ථිර පදිංචිකරුවන් වූ කාපිරි ජනතාවට සිලෝන් කැෆර් යන නම ලැබිණි.ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචි කරුවන් බවට පත්ව වසර 200 ක් ගතව තිබෙන අවස්ථාවේ සිලෝන් කැෆිර් ජනතාව මුහුණදී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් ගෙන් උරුමව තිබූ භාෂාව ඔවුන් කෙරෙන් වියැකී යාමය…..

බාලා. රගුන් තෙකෝ..බාලා රගුන් ..තේබාලා රගුන් තෙකෝ…වීර වීර බයි ලමඤ්ඤ දෙකෝ…ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිකරුවන් බවට පත්ව දෙසිය වසරක් සපිරීම නිමිත්තෙන් පුත්තලම සිරම්බිඅඩියේ පැවැති කැෆර් වරුන්ගේ උත්සවයට යන අතර ඈතින් ඇසුණ මෙම ගීතයේ තේරුම නොතේරුනත් එහි තාලය අනුව ඉබේම නැටවෙන ස්භාවයක් නම් ඇතිවිණි.සංගීතයට බොහෝ ලැදි කැෆර් වරු මෙලඩියට වඩා රිදම් එකට මූලිකත්වයක් ලබාදෙමින් ආශ්වාදයක් ලබන බව නම් මෙම ගීතය අසන විට පැහැදිලි වෙයි…

කැෆර් වරුන්ගේ මව් භාෂාව අපට පමණක් නොව දැන් බොහෝ කැෆර් වරුන්ටද අමුතුය.භාවිතයෙන් ඈත්ව යෑම නිසා දැන් මේ භාෂාව මළ භාෂාවක් බවට පත් වෙමින් තිබේ.මේ භාෂාව පිළිබඳ අල්ප හෝ දැනුමක් ඇත්තේ සිලෝන් කැෆර් ජනතාව අතරින් මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම කාන්තාව වන මාක්ස් ජෙරොම් එමලියානාටය. අසූ තුන් හැවිරිදි ඇය ඔවුන්ගේ භාෂාවේ අවසන් ශේෂ මාත්‍රය යැයි කීවොත් එය නිවැරදිය. තම මව් භාෂාව මතු පරපුර කතා නොකරන බව ප්‍රත්‍යක්ෂව අව‍බෝධ කරගෙන සිටින ඇය එම වේදනාව අප හමුවේ දිග හැරියේ මෙසේය…….

බාලා. රගුන් තෙකෝ..බාලා රගුන් ..තේබාලා රගුන් තෙකෝ…වීර වීර බයි ලමඤ්ඤ දෙකෝ…මේ පෘතුගීසි භාෂාව කියල තමයි කියන්නේ. මේ සින්දුවෙන් කියන්නේ බාල අයට නටන්න කියල, කැරකි කැරකි නටන්න කියල. හැබැයි අද වෙන කොට අපේ බාල අයට භාෂාවත් බැහැ..කැරකි කැරකි හරියට නටන්නත් බැහැ..මේ පෘතුගීසි භාෂාව කියල කිව්වට අපිව බලන්න පෘතුගීසියෙන් ඉදලා හිටලා මෙහෙට එන අය කතා කරන භාෂාව මේක නෙවෙයි. ඒ භාෂාවඅපිට තේරෙන්නේ නැහැ.. දැන් මේ භාෂාව ටිකක් හරි දන්න කෙනකුට ඉන්නේ මම විතරයි.ගොඩක් අය කතා කරන්නේ සිංහල. මගේ අම්මා තාත්තා මේ භාෂාව හොඳට කතා කළා. ඒ නිසා මට පුළුවන්. අවුරුදු දෙසීයකට වඩා රැ‍කගෙන ආව භාෂාව නැති වෙලා යන එක දුකයි. ඒත් මොනවා කරන්නද…මගේ සීයව මට හොදට මතකයි. එයා ගොඩක් හැඩි දැඩි කෙනෙක්. අපිව මොසැම්බික් රටෙන් ගෙනවා කියල තමයි සීයා කිව්වේ. අපේ පරම්පරාවේ අය ගොඩක් ශක්ති වන්ත අය.යුද්ධ කරන්න ඒ අය ගෙනාවා කියලා තමයි සීයා කිව්වේ.පෘතුගීසි කාලේ ඉදල වරින් වර කීප වරක්ම අපේ අය ලංකාවට ඇවිලල ගිහිල්ල තියනවා .අපි ලංකාවේ ස්ථිරව පදිංචි වෙලා තියෙන්නේ 1817 අවුරුද්දෙයි…මාක්ස් ජෙරොම් එමලියානා පවසන්නේ හැඟුම්බරවය…

අපේ වැඩි පිරිසක් අදහන්නේ කතෝලික ආගමයි.දැන් සිංහල අය සමඟ විවාහ වෙලා අපේ පරම්පරාවේ අන්‍යන්‍යතාව පෙන්නපු ලක්ෂණ පවා වෙනස් වෙලා.බොකුටු කොණ්ඩය, කළ වර්ණය දෙකම නැතුව දැන් අපේ දරුවෝ ඉපදෙනවා…ඇය කියන දේ සත්‍යයක් බව පැහැදිලි කිරීමට අවශ්‍යය සාක්ෂි ඕනෑ තරම් සිරම්බිඅඩිය ගම්මානයේ දරුවන් තුළින් ප්‍රකට වෙයි.

අපිට මේ භාෂාව බැහැ කියල අම්මා ගොඩක් වෙලාවට දුක් වෙනවා. භාවිතය අඩුකම නිසා අම්මටත් දැන් හරියට භාෂාව කතා කරන්න අමාරුයි. දැන් ඉන්න පුංචි ළමයි අපේ අටවෙනි පරම්පරාවේ අයයි. අපේ ආච්චිලා සීයලා මේ භාෂාව හොඳට කතා කරලා තියෙනවා. ඒ අය පස්වෙනි පරම්පරාව. අපේ අම්මලා හයවැනි පරම්පරාව. එතැන ඉඳලා තමයි භාෂාව ඊළඟට පරපුරට එන එක නැවතුණේ. අපි හත්වෙනි පරම්පරාව. අපිට අපේ මව් භාෂාව බැහැ. අපේ දරුවෝ වචන එක දෙක අල්ල ගෙන කතා කරනවා. ඒ අය ඒවගේ තේරුම දන්නේ නැහැ. සිලෝන් කැෆර් පරපුරේ වත්මන් නායිකාව වන ජෝර්ජ් ශෙරීන් පවසයි. කැෆර් වරුන්ටම අවේණිකවූ සංගීතයක් තිබේ. එයට පෙම් බඳින විශාල පිරිසක් මෙරට සිටිති. ඔවුන් වෙනුවෙන් රටපුරා ගොස් ප්‍රසංග පැවැත්වීමට ශෙරීන් කටයුතු කරන අතර ඒ සඳහා ඇය සමඟ ගායනයට,නර්තනයට හා වාදනයට දක්ෂ 12 දෙනකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අත්වැල් බඳගෙන සිටී…..

මෙයට වසර පහකට විතර කලින් අපි රජයේ මැදිහත් වීමෙන් දකුණු අප්‍රිකාවට ගිහින් දවස් පහක් එහි ප්‍රසංග පැවැත්වූවා. අපේ නැටුම් වලට අප්‍රිකානු ජනතාව විශාල කැමැත්තක් දැක්වූවා. අදහස් හුවමාරුවේදී ගොඩක් ප්‍රශ්න ආවා. අපි අපේ භාෂාවෙන් කියන ගොඩක් දේවල් ඒ අයට තේරුණේ නැහැ. අපේ භාෂාව ලෝකයේ කොහේවත් ආරක්ෂා වෙලා නැහැ කියන එක මට එදා තේරුණා. මේ භාෂාව විනාශ නොවී රැක ගන්න ඕන කියන හැඟීම අපිට දැන් තිබෙනවා. ඒකට ඉතින් රජයෙන් උදව් ඕන…ශෙරීන් එසේ පැවසුවේ කැෆර් ජනතාවගේ වර්තමාන අන්‍යන්‍යතාව වන තම මව එමිලියානාට හාදුවක් දෙමිනි…..

ශ්‍රී ලංකාවේ කාපිරි ජනතාව නොහොත් සිලෝන් කැෆර් ජනතාව‍ගේ අටවෙනි පරම්පරාව නියෝජනය කරන ප්‍රවින්දි මධුෂානී කාපිරි යනුවෙන් තම වර්ගයා හඳුන්වනවාට අකමැතිය. තවමත් එකොළොස් වෙනි වියේ පසුවන ඇගේ උප්පැන්න සහතිකයේ ජාතිය යන්න ඉදිරියෙන් සටහන්ව ඇත්තේ සිලෝන් කැෆර් ලෙසිනි. 1980 ට පෙර උපත ලද කැෆර් ජනතාව අතරින් අති බහුතරයකගේ උප්පැන්නයේ එම තීරුවේ සඳහන්ව ඇත්තේ කාපිරි යනුවෙනි. මම කැමති නැහැ ජාතිය කාපිරි කියල කියනවට. ඒ නම කැතයි. සිලෝන් කැෆර් කියල කියන එක හොඳයි. ප්‍රවින්දි මධුෂානි එසේ පවසන්නේ හොඳ සිංහලෙනි. මට අපේ පැරණි භාෂාව කතා කරන්න දන්නේ නැහැ. කුමේ කියන්නේ කනවට. බේබේ කියන්නේ බොනවට. ඒ වගේ වචන දෙක තුනක් තමයි මම දන්නේ. අපි දැන් ලාංකිකයො. අපි කතා කරන්නේ සිංහල. මේ භාෂාවත් ටිකක් දැනන් හිටියොත් හොඳයි කියලා මට හිතෙන්නේ මාධ්‍යය වැඩසටහන් වලට ගියාම එක එක වචන අහන නිසයි…

අපේ පෙනුම තාමත් අප්‍රිකානු පුද්ගලයින්ගේ වගේ නිසා සමහරු හිතනවා අපි විදේශීකයෝ කීයලා. අපි මේ රටේ මිනිස්සු. අපේ මුතුන් මිත්තෝ අප්‍රිකානු රටවලින් ඇවිත් සුදු ජාතිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් වැඩකළත් අපි දැන් හදවතින්ම ශ්‍රීලාංකිකයි. මේ අපේ රට. අපේ භාෂාව නැතුව ගියා වගේ තව කාලයක් යනකොට අපේ පෙනුම තියෙන අයත් අඩුවෙලා යයි .මොකද ඒ තරමට දැන් අපි හැමෝම මිශ්‍ර වෙලා. ගොඩක් වෙලාවට අපි අපේ භාෂාව ගැන එතරම් උන්නදු වුණේ නැහැ. මොකද සිංහල ජනතාව එක්ක එකට ඉන්නකොට අපිට අපේ භාෂාවෙන් කතා කරන්න අවශ්‍යතාවක් ඇති වුණේ නැහැ. ටිකෙන් ටික අපි ඒකට හුරු වුණා. මට හිතෙන්නේ දැන් අපි පරක්කුයි කියලා. ලෝකයේ කොහේවත් නැති භාෂාවක් අපිටවත් මතක නැතුව තියෙත්දී කොහොමද ආරක්ෂා කරන්නේ. හැම දේම දැන් අතීතතයට එකතු වෙලා…සිරිම්බිඅඩිය ගම්මානයේ ජීවත්වන මයිකල් මොරිස් ලෙනාර්ඩ් තමන්ගේ ජාතියට හා මව් භාෂාවට අත්ව තිබෙන ඉරණම පිළිබඳ දැක්වූයේ එවන් අදහසකි.
කාපිරි යැයි කී සැනින් අපට සිහියට නැගෙන්නේ ලොකු තොල්ය. මහත නාසය හා කළු සමය. බොකුටු හිසකේය. සිරිම්බිඅඩියේ සිලෝන් කැෆර් වරුන් අතර වයසින් මුහුකුරා ගිය අයගේ පෙනුම එසේය. පරම්පරා හතකට පසු ඔවුන්ගේ මුල් ලක්ෂණ බොහොමයක් දැන් වියැකී ගොසිනි.සියල්ල වෙනස් වුවත් ඔවුන්ගේ සංගීතයට ඇති ලැදියාව එදා මෙන් අදද නොනැසී පවතී. පිරිමින් හා හරි හරියට රඟන කාන්තාවන් උස් හඬින් ගයමින් සතුටු වෙත්දී අපි ඔවුන් ගෙන් සමුගෙන ආවෙමු.

නාම් පාප නමං චෙරුරේ… රේ…
පාඤ්ඤා මුලා මූ
නාම් පාපා නමං චෙරුරේ… බා
පාඤ්ඤා මුලා මූ..
තමන්ගේ මව් බසින් කතා කිරීමට නොහැකි වුවත් සිලෝන් කැෆර්ලාට ඔවුන්ගේ ගීත නම් කඩ පාඩම්ය.බාල මහලු තරුණ හැමෝම මේ ගීත අදද ගයන්නේ ඒ නිසාවෙනි………

සටහන හා ඡායාරූප-අසේල කුරුළුවංශ හා ප්‍රසාද් පූර්ණිමාල්




සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *