මහනුවරින් පාර්ලිමේන්තුවට කාන්තාවක් එවන්න – චන්ද්‍රිකා

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ දුර්වලම විපක්ෂය මෙවර මහ මැතිවරණයෙන් පසු බිහිවන බව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂිකා නීතීඥ චන්ද්‍රිකා සේනාරත්න මහත්මිය පවසයි. මන්ත්‍රී නියෝජනය අඩු වීම නිසා එක් පැත්තකින් දුර්වල වන විපක්ෂය අනෙක් පැත්තෙන් කුලල් කා ගැනීම නිසා තවත් දුර්වල වන බවද ඇය කීවාය. කටුගස්තොට යටියාවල ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීම නිමිත්තෙන් පැවැති ජනහමුවකදී සේනාරත්න මහත්මිය මේබව ප්‍රකාශ කළාය. රටක ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමට නම් බලයට පත්වන පක්ෂය තුළ අර්බුද නොතිබිය යුතු බවත් අද මේ රටේ ජනතාවගෙන් බලය ඉල්ලන එජාපයේ හා සමඟි ජනබලවේගයේ ඇති ප්‍රශ්න කන්දරාව දකින කිසිවකුත් ඔවුන්ට ඡන්දයක් දීමට ඉදිරිපත් නොවන බවත් ඇය කීවාය.

පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉතා පහළ මට්ටමක පවතින බවත් වසර 2001 මහ මැතිවරණයෙන් පසු කිසිදු කාන්තාවක් මහනුවරින් පාර්ලිමේන්තුව නියෝජනයකර නොමැති බවත් සේනාරත්න මහත්මිය පැවසුවාය.

මේ රටේ ඡන්දදායකයින් අතරින් බහුතරයක් වන කාන්තාවන් තමන්ගේ ඡන්දය කාන්තාවකට නොදෙන තත්ත්වයක් පසුගිය මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණයේදී පැහැදිලි වන බවත් එම තත්ත්වය මෙවර වෙනස් වෙතැයි තමන් අපේක්ෂා කරන බවත් ඇය කීවාය. තිස් වසරක් පුරා රට වෙලාගත් කුරිරු ත්‍රස්තවාදය නිමාකර මවුවරුන්ගේ හා බිරින්දෑවරුන්ගේ කඳුළු ගංගා නිමාවට පත් කළේ ජනපති අගමැති බවත් එහි ගෞරවය මෙරට කාන්තාවන් සෑම මැතිවරණයකදීම ඔවුන්ට ලබාදී තිබෙන බවත් අපේක්ෂකවරිය ප්‍රකාශ කළාය. දේශපාලනය තුළ කාන්තාවට ඉදිරියට ඒම සඳහා ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවත් මෙය ඉදිරියේදී හෝ වෙනස් විය යුතු බවත් කී ඇය ලෝක දේශපාලනය තුළ කාන්තාව වේගයෙන් ඉදිරියට එමින් තිබෙන බවද අවධාරණය කළාය. දේශපාලන පවුල් පසුබිමිකින් තොරව කාන්තාවකට දේශපාලනයට ප්‍රවිශ්ඨ වීමට නොහැකි තත්ත්වයක් රටේ තිබෙන බවත් මහනුවරින් කාන්තා නියෝජනයක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණු ලැයිස්තුවට ලබාදීම පිළිබඳව සියලු කාන්තාවන් වෙනුවෙන් තමන් ජනපති, අගමැති හා බැසිල් රාජපක්ෂ මහතාට කෘතවේදීත්වය පළකරන බවත්  සේනාරත්න මහත්මිය පැවසුවාය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *