මහනුවර අපජලය පිරිසිදු කිරීමට ව්‍යාපෘතියක්

මහනුවර නාගරික බල ප්‍රදේශයෙන් ඉවතලන අපජලය පිරිසිදු කොට යළි මහවැලි ගංගාවට මුදාහැරීමේ අපජල ව්‍යාපෘතිය මෙම වර්ෂය අවසානයේදී ක්‍රියාත්මක වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය. වැසි ජලය හැර වෙනත් කිසිම අප ජල ප්‍රභවයක් ඍජුව ජල පද්ධති වෙත මුදා නොහැරිය යුතු බව පළාත් පාලන පනතේ සදහන් වන නමුත් සෑම නිවසකම ඉවතලන සියලු ජලය කාණු ඔස්සේ පරිසරයට මුදා හැරීම සිදුවන බවත් ඒ මහතා කීය. සුරකිමු ගංඟා වැඩසටහන පිළිබදව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (09) පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කීවේය.තම නිවසේ අපද්‍රව්‍ය තමන් විසින් කළමණාකරණය කර ගැනීම ඉතා වැදගත් හෙතෙම පැවසුවේය. මහනුවර නාගරික අපජල ව්‍යාපෘතියේ වැඩකටයුතු බොහෝ දුරට අවසන්ව තිබෙන බවද ගමගේ මහතා කීය. පරිසරයට විශාල වශයෙන් හානි සිදුවන්නේ වැඩිහිටියන්ගෙන් වන බැවින් පාසල් දරුවන්ට වඩා වැඩිහිටියන් නියාමනය විය යුතු යැයිද ගංගා හා පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පාසැල් දරු දැරියන්ට මෙන්ම වැඩිහිටියන්ටද අවබෝධකර දිය යුතුය තිබෙන්නේ යැයිද ඒ මහතා  පැවසුවේය. ගංගා වෙත කැළි කසළ මුදා හැරීම කඩිනමින් පාලනය කළ යුතු බවත් එලෙස කැළි කසල බැහැර කරන ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම සදහා අනුමැතිය ලබා දී ඇත්තේද පළාත් පාලන ආයතන විසින්ම බවත් කී ඒ මහතා මහනුවර ගම්පොළ මාර්ගයේ පේරාදෙණීය සිට මහවැලි ගංගාවට සමාන්නතරව පිහිටි ව්‍යාපාරික ස්ථාන වලින් මහවැලි ගඟට විශාල වශයෙන් කැළි කසල දමන බව නිරීක්ෂණය වී තිබෙන බවද ප්‍රකාශ කළේය. පිරිසිදු ජල ප්‍රභවයන්ගෙන් යුතු මෙරට ජල සම්පත රැක ගැනීම කෙරෙහි දැඩි අවධානය යොමුවීම ඉතා වැදගත් යැයිද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කීවේය. සුරකිමු ගංගා ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික් උත්සවය ගන්නෝරුව  යුද හමුදා පුහුණු මධ්‍යස්ථානය අසළදී ද නුවරඑළිය දිස්ත්‍රික් උත්සවය නල්ලතන්නිය සීත ගඟුලේදී ද මාතලේ දිස්ත්‍රක් වැඩසටහන සුදුගඟ ආශ්‍රිතව ද පැවැත්වීමට සැළසුම් කර ඇතැයි හෙතෙම පැවසුවේය.මෙම සාකච්ඡාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්,නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී වූහ

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *