මහනුවර ඡන්ද ලක්ෂ 11 ඉක්මවයි

මෙවර මහ මැතිවරණයයේදී මන්ත්‍රීවරුන් 12 දෙනෙකු තෝරාපත්කර ගැනීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට 1129100 දෙනෙකු ලියාපදිංචිව සිටින බවත් ඔවුන්ට බාධාවකින් තොරව ඡන්දව පාවිච්චි කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 890 ක් ස්ථාපිතකර තිබෙන බවත් මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා පවසයි. පිළිගත් දේශපාලන පක්ෂ 12 කින් හා ස්වාධීන කණ්ඩායම් 17 කින් අපේක්ෂකයින් 435 දෙනෙකු මෙවර මහමැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටින බවද ඒ මහතා කීය.මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී කරුණාරත්න මහතා මේබව ප්‍රකාශ කළේය. දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු වෙනුවෙන් පොල්ගොල්ල සමුපකාර විද්‍යාලය,පොල්ගොල්ල විවෘත විශ්ව විද්‍යාලය,පොල්ගොල්ල මහවැලි විද්‍යාපීඨ පරිශ්‍රය හා මහනුවර ආදර්ශ පාසල සූදානම් කොට ඇති බවද හෙතෙම පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම සඳහා මධ්‍යස්ථාන 120 ක් ස්ථාපිත කර තිබෙන බවත්  ඉන් 30 ක තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුවන බවත් කී තේරීම්භාර නිලධාරීවරයා  අනෙක් මධ්‍යස්ථාන 90 දී සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම සිදුවන බවද අවධාරණය කළේය. මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් 14000 ක් අනුයුක්ත කොට ඇති බවද ඒ මහතා පැවසුවේය. ඡන්ද ගණන් කිරීමේ කටයුතු කලාප 05 කට බෙදා සිදුකරන බවත් ඒ සඳහා සම්බන්ධීකරණ කමිටු 05 ක්ද ප්‍රතිඵල නිරීක්ෂණ කමිටු 05 ක් ද ස්ථාපිත කොට ඇති තිබෙන බවත් කී කරුණාරත්න මහතා මැතිවරණයට පසුදින  පෙරවරු 8.00 ට  ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බවද ප්‍රකාශ කළේය.

මුල්ම තැපැල් ඡන්ද ප්‍රතිඵලය එදින පෙරවරු 10.00 ට  පමණ නිකුත් කළ හැකි බවද හෙතෙම කීය. එක් එක් පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව එදින පස්වරු 1.00 පමණ විට නිකුත් කිරීම ආරම්භ කළ හැකි බවත් මනාප ප්‍රතිපල නිකුත් කිරීම මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසුවේය.    සුළු සිදුවීම් කිහිපයක් හැරෙන්නට මහනුවර දිස්ත්‍රික්කයේ මෙතක් මැතිවරණයට අදාළ කටයුතු සාමකාමීව සිදුව තිබෙන බවත් ආරක්ෂාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් දියක් කෙරෙන බවත් තේරීම්භාර නිලධාරීවරයා කීවේය.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *