මහනුවර රෝහලේ පී.සී.ආර් පරීක්ෂණ 75000 ක්

මහනුවර ජාතික රෝහලේ වෛරසවේද රසායානාගාරයේදී මේ වන විට පී.සී.ආර් පරීක්ෂණ 75000 ක් සිදුකර තිබෙන බව රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

යාපනයේ සිට හම්බන්තොට දක්වා සියලුම රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් මහනුවර ජාතික රෝහලට පී.සී.ආර් පරීක්ෂණ සඳහා සාම්පල යොමු කෙරෙන බවත් දෛනිකව රෝහලේ වෛරසවේද රසායනාගාරය තුළ  පී.සී.ආර් පරීක්ෂණ 1500 ක් පමණ මේවන විට සිදු කරන බවත් ඇය කීවාය.

මහනුවර ජාතික රෝහලේ වෛරසවේද රාසායනාගාරයට රුපියල් මිලියන 08 ක් වටිනා Automated Nucleic Acid Extraction යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම නිමිත්තෙන් ඊයේ (23) රෝහලේදී පැවැති උත්සවයකදී අධ්‍යක්ෂවරිය මේ බව ප්‍රකාශ කළාය.මහනුවර රෝහල් සංවර්ධන කමිටුවේ මෙහෙයවීමෙන් මුදල් ඒකරාශි කර මෙම යන්ත්‍රය රෝහලට පරිත්‍යාග කර තිබිණි.

කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමට සඳහා ලබා ගන්නා සෙම පටල පී.සී.ආර් යන්ත්‍රයට යොමු කිරීමට පෙර සිදු කෙරෙන ජාන වෙන් කිරීමේ ක්‍රියාවලිය සඳහා සාම්පල යොමු කිරීම මෙතෙක් සිදු කරනු ලැබුවේ යන්ත්‍රානුසාරව නොවන බවත් පරිත්‍යාග කෙරුණු Automated Nucleic Acid Extraction යන්ත්‍රය මගින් එම කටයුත්ත ස්වක්‍රීයව සිදු කෙරෙන බවත් අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය.

මෙහිදී අදහස් දැක්වූ වෛරස්වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා දෛනිකව මහනුවර ජාතික රෝහලේදී පී.සී.ආර් පරීක්ෂණ 1500 ක් පමණ සිදු කරන බවත් නව යන්ත්‍රය මගින් පරීක්ෂණ කඩිනම් කිරීම මෙන්ම ඒවාහි නිරවද්‍යතාව තවත් සහතික වන බවත් කීවේය.

මහනුවර ජාතික රෝහල සංවර්ධනය කිරීමේ කමිටුව මගින් පරිත්‍යාගශීලීන් ගෙන් අදාළ මුදල එකතු කර නව යන්ත්‍රය මිලට ගත් බවත් රුපියල් දහය,සීය පවා ලබා දෙමින් ජනතාව මෙයට දායකත්වය ලබාදුන් බවත්  රෝහල් කමිටුවේ සභාපති මොහාන් සමරකෝන් මහතා පැවසීය.

ජාතිත ව්‍යසනයකදී පුරවැසි වගකීම හඳුනා ගනිමින් මේ සඳහා ඉහළ දායකත්වයක් ලබාදුන් මහනුවර ජනතාවට තම ස්තූතිය පළ කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *