මහවැලියට දිවි බිලි කළ, යොවුන් පෙම

පාසැල් සිසුවෙක් හා සිසුවියක් කටුගස්තොට නවයාලතැන්න ප්‍රදේශයෙන් මහවැලි ගඟ හරහා ඇති දුම්රිය පාළමෙන් ගඟට පැන සියදිවි නසාගෙන තිබෙන බව කටුගස්තොට පොලීසිය පවසයි. මෙසේ මහවැලි ගඟට පැන සියදිව හානි කරගෙන තිබෙන්නේ වයස අවුරුදු 16 ක පිරිම ළමයෙකු හා වයස අවුරුදු 15 ක ගැහැණු ළමයෙකි. මොවුන් දෙදෙනා කළක පටන් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා තිබෙන බවත් එයට දෙමව්පියන් තදබල ලෙස විරුද්ධ වී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

සිසුවිය හා සිසුවා පෙරේදා (06) පස්වරුවේ සිට නිවෙස් වලින් අතුරුදන්ව සිට ඇත.ඒ පිළිබඳ සිසුවාගේ පියා ඊයේ (07) පෙරවරු 5.00 ට පමණ කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.එම අවස්ථාවේ කටුගස්තොට නවයාලතැන්න දුම්රිය පාළම මත පාසැල් වයසේ පසුවන ළමුන් දෙදෙනෙකු සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී ඇත. සිද්ධිය දැනගත් පියා එම ස්ථානයට යනවිට ළමුන් දෙදෙනා පාළම මත සිට මහවැලි ගඟට පැන තිබේ.අසළ වූ ඔරුවක් රැගෙන ළමුන් දෙදෙනා බේරා ගැනීමට උත්සහ කළත් එය ව්‍යර්ථ වී ඇත.

සිසුන් දෙදෙනාගේ මළ සිරුර ඊයේ (07) පෙරවරු 8.00 ට පමණ ගොඩගෙන තිබෙන අතර කටුගස්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. මියගොස් ඇත්තේ කටුගස්තොට නවයාලතැන්නේ පදිංචි ශ්‍යාමලී හර්ෂණී රත්නායක(15) හා පල්ලේතලවින්නේ පදිංචි අකිල විජේරත්න (16) නැමැති පාසැල් සිසුන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.

සංස්කාරක සටහන – සියදිවි නසා ගැනීම ප්‍රශ්නවලට විසඳුමක් නොවේ. සියලු ආගම්වල පාප කර්මයක් ලෙස දැක්වෙන සිය දිවි නසා ගැනීමට එරෙහි වෙමින් හැකි සෑම අවස්ථාවකම එය වළක්වා ගැනීමට කටයුතු කිරීම පොදු සමාජ වගකීමකි. ඔබට සියදිවි නසා ගැනීමට සිතෙන්නේ නම් වහාම සමීපතමයෙකු හා කතා කරන්න. නැතිනම් උපදේශනයට යොමු වන්න.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *