මහවැලි සී. කලාපය මහ කන්නයට දියවර බෙදයි

මෙවර මහ කන්නයේ මහවැලි සී කළාපයේ වගාවන් සඳහා දියවර නිකුත් කිරීමේ මංගල්‍යය සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඉතාමත් චාම් අයුරින් චාරිත්‍රානුකූලව හා නිල වශයෙන් මහවැලි සී. කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරි මහතාගේ  ප්‍රධානත්වයෙන් උල්හිටිය රත්කිඳ නිවුන් ජලාශයේ දකුණු සොරොව්ව අසලදී පසුගියදා (20) දින සිදු කරන ලදී.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරි මහතා,

“ජල පාලන ලේකම් කාර්යාලයේ හා සී කළාපයේ ව්‍යාපාර කමිටුවේ තීරණය මත මෙවර මාස් කන්නයේ වගාවන් සඳහා ජලය නිකුත් කරන්න තීරණය කළා. පවතින කොවිඩ් 19 වසංගත තත්වය මත වුවත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල උපදෙස් මත ගොවි නායකයින් හා ගොවි මහතුන් දැනුවත් කිරීමෙන් අනතුරුව වගා බිම් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සී කළාපයේ සෑම ගොවි මහතෙකුටම ගොවි සංවිධාන මටිටමෙන් නිකුත් කළා පමණක් නෙවෙයි, වසංගත තත්ත්වය හමුවේ ඉතාමත් පරෙස්සමෙන් වගා කටයුතු සිදු කරන අයුරු අපි නිරන්තරයෙන්ම අධීක්ෂණය කරනවා.

මෙවර 2020/2021 මාස් කන්නයේ හෙක්ටයාර විසි දෙදහස් අටසිය හයක බිම් ප්‍රමාණයක වීවගා කටයුතු සඳහා වාරි ජලය නිකුත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අතිරේක භෝග වගා වැඩ සටහන මහවැලි සී කලාපය පුරාම සෑම ගෙවත්තකම ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබෙනවා.මෙරටට ආනයනය කිරීම නතර  කර ඇති හෝග වර්ග වගා කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් අපි දියත් කරනවා.

සෑම ඒකකයකම ආදර්ශමත් ගෙවතු 25ක් බැගින් අපි සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව අපි කලාපයක් විදියට ගෙවතු 775ක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.

අති ගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකර්මාන්තයට ප්‍රමුඛ තැනක් හිමි වෙනවා.  මේ වන විට අපේ රටේ අත්‍යාවශ්‍යම වගාවක්ව පවතින බඩ ඉරිඟු වගාව අපේ කළාපයේ හෙක්ටයාර 1815 ක බිම් ප්‍රමාණයක එලැඹෙන වැස්සත් සමග වගා කිරීමට අවශ්‍ය සියලු කටයුතු අපි සූදානම් කර තිබෙනවා.

මෙවර මෝසම් වැස්සේ පමාවක් අපි දකිනවා.වික්ටෝරියා,රන්දෙණිගල,රන් ටැඹේ ජලාශ වල ජල මට්ටම  හා සැසඳීමේදි 75  පමණ ජල ධාරිතාවක් උල්හිටි රත්කිඳ නිවුන් ජලාශයේ තිබෙනවා. එම නිසා ඉසිරි වැස්සත් අරමුණු කරගෙන මනා ජල කළමණාකාරිත්වයෙන් යුතුව පරෙස්සමෙන් මෙම රන් දියවර භාවිතා කර ගොවිතැන් තටයුතු කරන ලෙස ගොවි මහතුන්ට අපි උපදෙස් ලබා දී තිබෙනවා” යැයි ද නොයෙල් ජයසිරි මහතා පැවසීය.

මෙම කන්නයට අවශ්‍ය පොහොර දැනටමත් ප්‍රමාණවත් තරම් තිබෙන බවත්, වී වගාව සඳහා අවශ්‍ය බිත්තර වී නිෂ්පාදනය කර ඇති බවත් නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා තව දුරටත් පැවසීය.

ගිරාඳුරුකෝට්ටේ චාමින්ද බුලත්සිංහල

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *