මහානායක හිමිවරු මාර්තු 12ට අත්සන් තබති.

රට නිසි මගට යොමු කිරීම පිණිස පාලකයින්ට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කිරීමෙන් ඔබ්බට ගොස් භික්ෂූන් වහන්සේ දේශපාලනය කිරීමට යාමෙන් රටට අත්වූ කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොමැති බවත් සිදුවූ එකම දේ විශාල ශාසනික පිරිහීමක් ඇතිවීම පමණක් බවත් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති.
මේ නිසා භික්ෂූන් වහන්සේට නාම යෝජනා ලබා දීමෙන් වැලකී සිටින ලෙස පක්ෂ නායකයින් ගෙන් ඉල්ලන බවත් උන්වහන්සේ දෙනම ප්‍රකාශ කළහ.

මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් පෙරේදා (07) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක මාර්තු 12 ප්‍රකාශනයේ සංශෝධිත කරුණු පිළිබද දැනුවත් කළ අවස්ථාවේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම මේ බව පැවසූහ.
මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමිවරු මාර්තු 12 ප්‍රකාශනයට අත්සන් තැබීමද මෙහිදී සිදු කළහ.
අපරාධ හෝ නීති විරෝධී ක්‍රියා හේතුවෙන් වරදකරුවන් වී සිර දඬුවම් ලැබූවන්ට මධ්‍යසාර, මත්ද්‍රව්‍ය, කැසිනෝ, සූදු, ගණිකා මඩම් ඇතුළු රටේ යහපැවැත්මට හානිකර ව්‍යාපාරවල නිරතවන්නන්ට බරපතල ලෙස පරිසරයට හානි කරන්නන්ට දේශපාලන බලය අයුතු ලෙස භාවිතකොට අගතිගාමී මූල්‍ය වංචාවන් සිදුකළ පුද්ගලයින්ට දේශපාලන පක්ෂ වලින් නාම යෝජනා නොදිය යුතු බවට මාර්තු 12 ප්‍රකාශනය මගින් යෝජනා කර තිබේ. සියලු ආගමික නායකයින් දේශපාලන භේදයකින් තොරව සමස්ත ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර විය යුතු බැවින් පූජ්‍ය පක්ෂයට දේශපාලන පක්ෂ මගින් නාම යෝජනා නොදීම, සමස්ත ජනප්‍රජාවට සංවේදී දේශීය චින්තනයකින් පිරිපුන් ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ මනා අවබෝධයක් ඇති නීතී හා ප්‍රතිපත්ති සම්පාදනයට, මූල්‍ය කලමණාකරණයට හැකියාව ඇති ප්‍රායෝගික පුද්ගලයින්ට සියලු පක්ෂ නාම යෝජනා ලබා දීමට උනන්දු වීම යන කරුණු දෙක මාර්තු 12 පෙර ප්‍රකාශනයට සංශෝධන ලෙස මෙවර අලුතින් ඇතුළත් කර තිබේ.
දේශපාලනය භික්ෂූන් වහන්සේට කිසිසේත්ම නොගැලපෙන්නක් බවත් රට හා ජනතාව පිළිබඳ අවංක ආදරයක් ඇති අය පාර්ලිමේන්තුවට මෙන්ම පලාත් සභා හා පළාත් පාලන ආයතන වලට පත්කර යැවීමට ජනතාව උනන්දු විය යුතු බවත් මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ප්‍රකාශ කළහ.
භික්ෂූන් දේශපාලනයට යොමු වීමෙන් ශාසනයට හානියක් වන අතරම බෞද්ධාගමට අගෞරවයක් වන බවත් මහ සංඝරත්නය මධ්‍යස්ථව ක්‍රියා කරමින් පාලකයින්ට නිවැරදි ලෙස රට පාලනය කිරීමට අවවාද අනුශාසනා කළ යුතු බවත් උන්වහන්සේ කීහ.
ඇතැම් පිරිස් මහ සංඝරත්නය දේශපාලනයට ගෙනඒමට කටයුතු කරමින් සිටින බවත් ප්‍රධාන පක්ෂ භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා ලබා දීමෙන් වැලකී සිටීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් මහනාහිමියෝ පැවසූහ.
අවශ්‍ය දේට පමණක් නොව අනවශ්‍ය දේටද අද මානව හිමිකම් ඉදිරියට දමා ඇතමුන් කටයුතු කරන බවත් මේ නිසා සමාජයේ ගැටලු රැසක් පැන නැගී තිබෙන බවත් උන්වහන්සේ කීහ.
අස්ගිරි මහ විහාරයට ගිය රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිස පිළිගත් මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ භික්ෂූන් දේශපාලනයට සම්බන්ධ වීම පිළිබඳව තමන් වහන්සේ එදා සිටම විරුද්ධවූ බව ප්‍රකාශ කළහ.
මාර්තු 12 ප්‍රකාශනය සැලකිල්ලට ගෙන නාම යෝජනා ලබා දීමට ප්‍රධාන පක්ෂ කටයුතු කරන්නේ නම් යහපත් පුද්ගලයින් පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇති බවද උන්වහන්සේ කීහ.
මේ වනවිටද යම් යම් දේශපාලනඥයින්ට නොයෙකුත් චෝදනා එල්ලවී තිබෙන බවත් ඔවුන්ට නාම යෝජනා ලබාදීම ගැන පක්ෂ දෙවරක් සිතා බැලිය යුතු බවත් කී අස්ගිරි මහනාහිමියෝ එවැනි අය ඉදිරිපත් කිරීමට පක්ෂ කටයුතු කළහොත් ඔවුන්ට ඡන්දය දීමෙන් වැලකී සිටීමට ජනතාව පියවර ගත යුතු බවද අවධාරණය කළහ.
වර්ෂ 2015 මාර්තු 12 දින පැෆරල් සංවිධානයේ මූලිකත්වයෙන් මෙම ලියවිල්ල සියලු දේශපාලන පක්ෂ හා නායකයින්ට ලබාදී ඔවුන් ගෙන් ප්‍රතිඥාවක් ලබාගත් බවත් ඇතැම් දේශපාලනඥයින් ඊට අනුගතව ක්‍රියාකරද්දී තවත් පිරිසක් එහි අඩංගු කරුණු පිළිබඳ සැලකිල්ලක් නොදක්වා කටයුතු කළ බවත් මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
සංශෝධිත මාර්තු 12 ප්‍රකාශනයට එළඹෙන මාර්තු 12 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂ නායකයින් ගෙන් ප්‍රතිඥා ලබා ගැනීමට අදහස් කරන බවත් ඉන්පසු මේ සම්බන්ධව රටේ ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම කීය.
කොළඹ විශ්ව විද්‍යාලයේ මහචාර්ය කමල් වලේබොඩ මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *