මළසිරුරු සමඟ පිච්චෙන ජාත්‍යන්තර කීර්තිය

විදෙස් රටක කොවිඩ් රෝගියෙකුගේ මළ සිරුරක් භූමදානය කරන අන්දම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශාරදයින් ලක් රජයෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ඒ කොවිඩ් වසංගතයට ගොදුරු ව මිය යන මුස්ලිම් ඇතුළු වෙනත් සුලුතර ජාතීනට අයත් තැනැත්තන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙසයි.  ජනවාරි 25 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සිට නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අයැද සිටියේ වෛරස ආසාදනයට ගොදුරු වූවන් ආදාහනය කිරීමේ බලහත්කාරී ප්‍රතිපත්තිය මුස්ලිම් හා වෙනත් සුලුතරයන්ගේ විශ්වාසයන්ට පටහැණි බැවින් විකල්ප එළඹුම් පිළිබඳ සිතා බලන ලෙස හා ව්‍යාජ තොරතුරු, වෛරී ප්‍රකාශ මෙන්ම අපකීර්තියට පත්කිරීමේ ක්‍රියාවන් වැළැක්වීම සඳහා නිසි පියවර ගන්නා ලෙසයි.  මේ විශාරද පිරිසට අයත් වුණේ, ආගමික හා විශ්වාසයන් පිළිබඳ විශේෂ වාර්තාකරු අහමඩ් සහීඩ්, සුළුතර ජනයාගේ ගැටලු පිළිබඳ විශේෂ වාර්තාකරු ෆර්නැන්ඩ් ඩී වරෙන්ස්, සාමකාමීව එක්රැස්වීමේ හා ඇසුරු කිරීමේ  අයිතිවාසිකම පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් නයිලෙට්සෝසිවුල්, ශාරීරික හා මානසික සෞඛ්‍යය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් භුක්ති විඳීමට ඇති අයිතිය පිළිබඳ විශේෂ වාර්තාකරු ටලෙං මොෆෝකෙන්ග් යන අයයි. මේ විශාරදයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයේ අධීක්ෂණ හා ස්වාධීනව කරුණු සෙවීමේ යාන්ත්‍රණවල ස්වේච්ඡාවෙන් කටයුතු කරන්නන් වේ.

ඔවුන් සිය වාර්තාවෙන් පෙන්වා දෙන පරිිදි කොවිඩ් 19 හේතුවෙන් මරණයට පත් වූ බව තහවුරු කරන ලද හෝ සැක කරන ලද සිරුරු ආදාහනය කිරීම හැර වෙනත් විකල්පයක් පිළිබඳ අවධානය යොමු නොකිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.  මළ සිරුරු භුමදානය කිරීම නිසා වෛරසය පැතිර යන බවට තහවුරු වූ සාක්ෂි ලංකාවෙන් හෝ ලොව අන් රටකින් ලැබී නැති බවද ඔවුන් පවසයි.  මේ විශාරදයින්ගේ වාර්තාවට අනුව 2021 ජනවාරි 21 දා වන විට ලංකාවෙන් වාර්තා වූ කොව්ඩ් 19 නිසා යැයි සැළකෙන මරණ 274න් වැඩි පිරිසක් මුස්ලිම් ජාතිකයන් ය.  2020 මාර්තු 31 නිකුත් කර තිබූ මාර්ගෝපදේශයනට අනුව ඔවුන්ද ඇතුළු සියලු දෙනා ආදාහනය කර ඇත.

භූගත ජල මූලාශ්‍රවලට වෛරසය එකතු විය හැකි නිසා මළ සිරුරු ආදාහනය කිරීමට අදාළ තීන්දු ගත් බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළද ආදාහනය කිරීම නිසා කොවිඩ් පැතිර යාම වළකින බවට ප්‍රකාශිත සාක්ෂි නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇතැයිද මේ විශේෂඥ පිරිස පවසති.  “වසංගතය නිසා ඇතිවන මහජන සෞඛ්‍ය අභියෝග පිළිබඳ සෝදිසියෙන් සිටිය යුතුව ඇති නමුත් අප ගන්නා ක්‍රියාමාර්ග නිසා මළවුන්ගේ ගෞරවය, ඔවුන්ගේ ආගමික හා සංස්කෘතික සම්ප්‍රදායයන්, විශ්වාසයන් සුරක්ෂිත කළ යුතු අතර පවුල්වල සාමාජිකයන්ට ආරක්ෂාව තහවුරු කළ යුතුය. මෙවැනි තීරණ ජාතිකවාදය හා ජනවාර්ගික කේන්ද්‍රවාදය මත පදනම් වීම නිසා සුලුතර ජනපිරිස්වලට අගතිදායක විය හැක. ඒ මගින් පවත්නා සතුරුකම් ආතතීන් හා නොඉවසීම තීව්ර කරමින් භීතිය හා අවිශ්වාසය වපුරයි. තවදුරටත් වෛරය හා ප්‍රචණ්ඩත්වය ඇති කරයි.” යනුවෙන් පවසන මේ විශාරදයින් සඳහන් කරන්නේ ආන්තික ජනපිරිස් තමන් නොසළකා හැරීමේ අවදානම නිසා පොදු සෞඛ්‍ය ප්‍රවාහයට පිවිසීමද ඉන් වැළකෙනු ඇති බවයි.

තමන්ට ලැබී ඇති තොරතුරුවලට අනුව වැරදි තොරතුරු මත ආදාහනය කිරීමේ සිද්ධි කිහිපයක් ද ලංකාවේ සිදුව ඇතැයි ඔවුන් පවසති.  එවැනි අවස්ථාවලදී සත්‍යය තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා පවුල්වල සාමාජිකයන්ට සාධාරණ කාලයක් හෝ ලබා දී නැත.  ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විකල්ප සොයා බලන ලෙස උපදෙස් දී තිබිය දී සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ තැකීමක් කර නොමැති බව ද ඔවුන් පවසයි.

කොන්ක්‍රීට් ආවරණයක් ගැන හිතන්න බැරිද?

“නබිතුමාගෙ කාලෙ පවා වසංගත රෝග මිනිස්සුන්ට හැදුණා. එතුමා කිව්වා කාට හරි වසංගතයක් හැදුණම සුව වෙනකම්ම ගමෙන් පිටට යන්න එපා කියලා. පිටදි හැදුණා නම් ගමට එන්න එපා කියලා. මේ ගැන කුරාණෙත් තියෙනවා. හදීස්වලත් තියෙනවා.” ඉතිං අපි මුස්ලිම් මිනිස්සු හැටියට වසංගත රෝග වාහකයෝ නෙවෙයි. කැස්සක් හැදිලා කෙළ ගැහුවොත් අනිවාර්යයෙන් පස් දාලා වහන්න ඕන කියන්නේ අපි ඉගෙනගත්ත සුන්නත් එකක්.” කඳුකරයේ වෙසෙන සමාජ ක්‍රියාකාරිකයෙකු හා තරුණ මාධ්‍යකරුවෙකු වන එස්. එම් රමීෂ් පවසයි. ඔහු සඳහන් කරන්නේ වසංගත ව්‍යාප්තිය ආරම්භ වූ සමයේ ම මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව ප්‍රජා කතිකාවන් ඇති වූ බවත් සිය ජනයා වසංගතයට ගොදුරු වුවහොත් ගත යුතු පියවර සාකච්ඡා කළ බවත් ය. “අපි කතා වුණා 28 දෙනා ගාණේ ගම් මට්ටමින් කණ්ඩායම් හදන්න. කවුරුහරි ආසාදිතයෙක් අය.ඩී.එච්වලදි මැරුණොත් අපේ වාහනෙකින් ගිහින් සෞඛ්‍යාරක්ෂිතව ගේන්න. ඒ මිනිය නාවන්නෙ නෑ. අපි පත්කරපු කට්ටිය කපපු වළක වළලනවා පවුලේ සහභාගිත්වය නැතිව. ඒ මිනිය ගේන වළලන අය දවස් 14ක් නිරෝධායනය වෙනවා. ඒ නිරෝධායනය වන පිරිසගේ පවුල් බලා ගන්න අපි වැඩපිළිවෙලක් හදලා තිබ්බා” යැයි රමීෂ් පවසයි.  මේ වැඩපිළිවෙල ඉහළ බලධාරීන් සමඟ සාකච්ඡා කරන්නට අවස්ථාවක් නොලැබීම අවාසනාවක් බව ඔහු පෙන්වා දෙයි. එහිලා තමන්ගේ ආගමික නියෝජිතයා ලෙස ජමියතුල් උලමා සංවිධානය මැදිහත්ව ක්‍රියා නොකිරීමද වරදක් බව පවසන රමීෂ් කාදිනල් තුමන්ගේ භූමිකාව ඉටු කරන මෙන් ජමියතුල් උලමා සංවිධානයෙන් ඉල්ලා සිටියි.

 එස්. එම්. රමීෂ්

විද්‍යාව හා ආගම වෙනස් මං පෙත් දෙකක් ඔස්සේ ගමන් ගන්නා බැවින් විද්‍යාත්මක හේතුන් ඉදිරිපත් කරමින් මිනිසුන්ගේ ආගමික විශ්වාස පිළිබඳ නිදහසට පහර නොගසන මෙන් ඉල්ලා සිටින රමීෂ් ලාංකික මුස්ලිම් ජනයා විකල්ප පිළිබඳ විශ්වාසය ඇතිව සිටින බව පවසයි. “මෙහෙමයි අපි කවදාවත් ජල මූලාශ්‍ර තියෙන තැන් මිනී වළලන්න යොදාගත්තෙ නැහැ. ඉතින් එහෙම සැකයක් තියෙනවා නම් ආණ්ඩුවට පුලුවන් සුදුසු භූමියක් යෝජනා කරන්න. ඒක ලංකාවේ කොහේ තිබුණත් අපිට පුලුවන් ප්‍රජාවක් හැටියට අනුගත වෙන්න. අර මළ සිරුරු මාලදිවයිනට ගෙන යන යෝජනාව ආවමත් මුස්ලිම් සමාජය ඇතුළෙ කතාවක් ආව ඒ වෙනුවෙන් කළ හැකි කැපවීමක් කරන්න. දැනටත් කල්මුණේ ලෙඩෙක් බදුල්ලට ගෙනාවොත් බදුල්ල ජමියතුල් උලමාව පහසුකම් දෙනවා එයාගෙ පවුලෙ අයට නවතින්න. ලෙඩා මිය ගියොත් දේහය ගෙනියන්න වාහන පවා දෙනවා. ඒ නිසා මේ ගැටලුවත් සාමූහික අවබෝධය ඇතුළෙ විසඳගන්න පුලුවන්. මම විශේෂඥයෙක් නෙවෙයි. ඒත් අපිට බැරිද කොන්ක්‍රීට් ආවරණයක් ඇතුළෙ සාමූහික භුමදාන පහසුකම දෙන්න” යැයි රමීෂ් සමස්ත මුස්ලිම් ජනයා වෙනුවෙන් විමසයි.

“ආණ්ඩුවත් මේ ගැන හොයන්න කමිටුවක් පත් කළානෙ. ඒ කමිටුවේ ඇතැම් විශේෂඥයෝ පවා කිව්වා මේ මළ සිරුරු ආදාහනය කළාට කමක් නැහැ කියලා.  හැබැයි කවුද ඇහුම්කන් දෙන්නෙ. මේ ක්‍රියාත්මක වෙන්නෙ වාර්ගික අධිපතිවාදී දේශපාලනය.” පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් එසේ පවසයි. ඔහුට අනුව කල්මුණේ සහ අම්පාර වැනි ප්‍රදේශයක භුමදාන පහසුකම් සැපයීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස අගමැති තුමා උපදෙස් ලබා දී තිබෙන නමුත් එයද නොසළකා හැර ඇත. “පාර්ලිමේන්තුවේදී ඩිලාන් පෙරේරා, වාසුදේව නානායක්කාර වගේ මැතිඇමතිවරු පවා අපි එක්ක කතා කළා මේ වෙලාවේ මුස්ලිම් ජනයාට මළ සිරුරු වළලන්න ඉඩ දෙන්න වුවමනයි කියලා.  යැයි පවසන මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මුස්ලිම් ජනයා සිය ආගමික විශ්වාසයන්ට අනුව මළ සිරුරු භූමදානය කිරීමට හේතු ගණනාවක් තිබෙන බවයි. යාර හයක රෙදි කැබැල්ලකින් සිරුර ඔතා පැය විසිහතර ඉක්ම යන්නට මත්තෙන් වළ දැමීමට ආර්ථික සාධක පවා හේතු වන බව ඔහු පවසයි.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසන්නේ තමන් මේ පිළිබඳව මුජිබර් රහුමාන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරුන්ට පෙර පාර්ලිමේන්තුවේදී කතා කළ බවයි. “මං පෙනී ඉන්නවා ඒ අයිතිය වෙනුවෙන්. උතුරෙ හිමිනමක් අපවත්වෙලා ආදාහනය කරන්න ඉඩ නොදුන්නම අපට දැනුණ වේදනාව මේ වෙලාවෙ මුස්ලිම් අම්මලා තාත්තලට දැනෙන බව මං දැක්ක. මං කියන්නේ මුස්ලිම් ජනතාවට ඔවුන්ගෙ විශ්වාසයට අනුකූලව කටයුතු කරන්න ඉඩ දිය යුතුයි.  මම සෞඛ්‍ය විශේෂඥයෙක් නෙවෙයි. හැබැයි විශේෂඥයන්ට පුලුවන් විකල්ප හොයලා දෙන්න. මුලින්ම බලන්න මළසිරුරකත් වෛරසයට සජීවීව පවතින්න පුලුවන්ද කියලා. එහෙම තියෙන කාලය බලන්න. ඒ අනුව තීන්දු කරන්න පුලුවන් සිරුර පොලිතීන් කවරයක බහා වළලන්න. නැත්නම් කොන්ක්‍රීට් ආස්තරණයක් ඇතුළෙ වළලන්න. ඒ වෙනුවෙන් රටටම පොදු නිශ්චිත තැනක් යොදාගන්න පුලුවන්.  මං අපේ මුස්ලිම් සහෝදරයන්ට කියන්න කැමතියි වෙනදා වගේ මිනිය අතපත ගාන්න හෝදන්න ඉල්ලන්න බැරි බව. ඉතිං මේක විසඳගන්න පුලුවන් ප්‍රශ්නයක්. අපි ලාංකිකයො විදියට එකිනෙකාට ගරු කිරීම ඇතුළෙ. යැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පවසයි. එහෙත් මුජිබර් රහුමාන් පෙන්වා දෙන පරිදි ගැටලුව ඇත්තේ අධිපතිවාදී කතිකාව තුළ ය.

ඇත්ත හැඟීම්වලින් සඟවා ගැසීම

අසම්පූර්ණ හා අසංවිධිත කරුණු මත පදනම් වෙමින් මළ සිරුරු භූමදාන විරෝධීව හඬ නඟන බහුතරයකට කට උත්තර නැති කරන්නට කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ පැණිය සමත් වූයේ ජනමාධ්‍ය කැමරා ඉදිරියේ එය පානය කළ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුද ආසාදිතයන් බවට පත්වීම සමගය.  කෙසේවෙතත් ඒ සිදුවීම ලංකා සමාජයට කියා දෙන පාඩම වන්නේ හැඟීම් හෝ සිය දේශපාලනය මත පදනම් ව ගන්නා අවිද්‍යාත්මක තීරණ වරදින්නට ඇති ඉඩකඩ වැඩි බව ය. කොවිඩ් වසංගතය නිසා මරු දුටුවන් වැළලූ විට වෛරසය ව්‍යාප්ත විය හැකිය යන අදහස සමාජගත කිරීම වෙනුවෙන් වඩාත් බරපතල ලෙස පෙනී සිටියේ වෛරසවේදය පිළිබඳ විශේෂඥයෙකු නොව භූගර්භ විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක වීම විශේෂිත ය.  ඇය ඇතුළු පිරිස ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කළ ඩෙන්මාර්ක උදාහරණයේ සැබෑව අනෙකක් බව පසුව හෙළිදරව් විය.  කොරෝනා වෛරසයේ ප්‍රභේදයක් ආසාදනය වීම නිසා එරට වාණිජ මට්ටමෙන් ඇති කරන මුගටින් දහස් ගණනක් මරා දමා වැළලීමට ගත් තීන්දුවකින් අනතුරුව නැවත ඒවා ආදාහනය කරන්නට තීරණය කළ බව මෘතදේහ වැළලීමට විරුද්ධ පිරිස පුන පුනා පැවසූහ. නමුත් ඩෙන්මාර්කය මුගටි මළ සිරුරු ගොඩගෙන පුලුස්සා විනාශ කිරීමට දින නියම කළේ ඇතැම් ස්ථානවල ඒවා පොළව මතුපිටට මතු ව දුර්ගන්ධය ඇතුළු අප්‍රසන්න තත්ත්වයක් නිර්මාණය වීම නිසා ය.

ප්‍රජා-වෛද්‍යවරුන්ගේ-අධ්‍යයන-පත්‍රිකාව

මේ සම්බන්ධයෙන් කතා කළ ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය පැවසුවේද මළ සිරුරු භූමදානය කිරීම නිසා වෛරසය ව්‍යාප්ත වන බවට තහවුරු වී නොමැති බවයි.  එම නිසා මියගියවුන්ගේ පවුල්වලට සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සිය අභිමතය පරිදි කටයුතු කිරීමට   ඉඩ දිය යුතු බවයි. ඔවුන්ගේ ප්‍රකාශ පදනම්ව තිබුණේ යාවත්කාලීන කරන ලද විද්‍යාත්මක තොරතුරු මතය. භූගත ජලය මගින් වෛරසය පැතිරෙන බවට සාක්ෂි තිබේ නම් රෝගීන්ගේ මළ මූත්‍රා හරහා ද එය සිදුවිය යුතුය.  වෛරස විශේෂඥයෙකු ලෙස කීර්තියට පත් මහාචාර්ය මලික් පීරිස් සහ වෛරස විශේෂඥවරියක වන නීලිකා මලවිගේද එම අදහස තහවුරු කළහ. සෙන්ටිග්‍රේඩ් අංශක 23ක උෂ්නත්වයක් ඇති අප ජලයේදී කොරෝනා වෛරසය උපරිම දින හතරකදී විනාශ වෙන අතර ලංකාව වැනි වැඩි උෂ්නත්ව පරිසරයක එය වඩාත් ඉක්මන් බවද මේ අධ්‍යයන වාර්තාවල දැක්විණ. කෙසේ වෙතත් මළ සිරුරක වෛරසය පවත්නා කාලය තවමත් විවාදිත නිසා සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැළකිලිමත් වීමට වග බලා ගත යුතු ය. අවදානම ගැන සළකා බලා ඇල්කොහොල් ද්‍රාවණ, ක්ලෝරීන් හෝ වෙනත් විෂබීජ නාශක දියරයක බහා වැළලීමටද විදෙස් විශේෂඥයින් යෝජනා කර තිබේ.  පසුගියදා ඉන්දියාවේ කල්කටා මහාධිකරණය හමුවේ විභාග වූ විනීත් රුයියා එදිරිව බටහිර බෙංගාල සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් නඩුවේ තීන්දුව දෙමින් විනිසුරු තොට්ටාති බී. රාධාක්‍රිෂ්ණන් සහ විනිසුරු අරිජිත් බෙනර්ජි පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මළසිරුරු භූමදානය හෝ ආදාහනය කළ හැකි බවයි.  මෙම අධිකරණ තීන්දුව මගින් අවධාරණය කරන්නේ සියලු දෙනාට ගෞරවාන්විත අවසන් ගමනක් උරුම විය යුතු බවයි. ඊට ඌණපූර්ණයක් වන මහාචාර්ය මලික් පීරිස්ගේ අදහස වන්නේද රෙගුලාසි මගින් පමණක් නොව විශ්වාසවලටද ගරු කරමින් ජනයාගේ විශ්වාසය දිනාගෙන රෝග පාලනය කළ යුතු බවයි.

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *