මාධ්‍යවේදීන්ටද පහර දී මුලතිව් වනයේ අක්කර 200ක් වනසලා
මුලතිව් මුල්ලියාවලී නාගන්සෝලෙයි මහ වනයේ අක්කර 200ක් පමණ සම්පූර්ණයෙන් වනසා දමා ඇති බව අනාවරණය වේ. දැව හොරු වනය වනසා දමා ඇති බව පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවේ අධිකරණ නියෝගයකට අනුව කළ නිරීක්ෂණයකින් පසුවය. පොලීසිය එම නිරීක්ෂණය සිදු කළේ පසුගියදා මෙම වන විනාශය වාර්තා කිරීමට එහි ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දීමට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන මෙන් ලද නියෝගය නිසාවෙනි.
විවෘත අධීකරණයේදී පොලීසිය පැවසුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොදැනුවත්ව මෙතරම් විශාල වන බිම් ප්‍රමාණයක් හෙළිපෙහෙලි කර දැව ඉවත් කර ගැනීම විමතියට කරුණක් බවයි.
මාධ්‍යවේදීන්ට පහර දුන් පසුව සිද්ධිය යටපත් කිරීම සඳහා අදාල වන බිම පෞද්ගලික ඉඩමක් බව පෙන්වීමට නිලධාරීන් උත්සාහ කළ බවටද චෝදනා එල්ල විය. අදාල මාධ්‍යවේදීන්ද මෙම ඉහළ සබඳතා පිළිබඳ හෙළිකර තිබූ අතර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු උද්ගතව ඇතැයි මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු වාර්තා කළේය.
කෙසේ වෙතත් මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දීම සම්බන්ධ නඩුව විභාග කිරීම තවමත් අවසන්ව නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර තිබේ.