”මිනී පෙට්ටිවල අවසානය”. කාබනික කැප්සියුල අපගේ දේහ ශාඛ බවට හරවනු ඇත.

මහ පොළවේ පාරිසරික අර්බුදවලට විකල්පයක්ද? ප්‍රදර්ශනකාමී මිනිස්සු කැමති වෙයිද?

මෙම ලිපිය විදෙස් බසින් පළවුවක අනුවාදනයකි. එමඟින් යෝජනා කෙරෙන්නේ නූතනයේ භාවිත වියදම් අධික නොදිරන කොටස්වලින්ද සමන්විත මිනී පෙට්ටිවල බහා සිරුරු භූමදානය කිරීමට සිත් ගන්නා සුළු විකල්පයකි. ඒ සෑම දේහයක්ම බහාලන කළසක් මත ගසක් වැවීමට කෙරෙන යෝජනාවකි. වැදගත්ම කාරණය මෙවැනි මෘත කළස් භාවිතය අපේ රටට ආගන්තුක නොවීමයි. මැටි බරණිවල මෘත දේහ බහා අවමංගල සිරිත් ඉටුකරනු ලැබූ පුරාණ සුසාන බිම් ලංකාවෙන් හමු වී ඇත.

අවමංගල්‍යයක් පිළිබඳව කතා කරන විට සෑම දෙනෙකුගේම සිතෙහි ඇතිවෙන්නේ දුක්බර හැඟීමකි. මෘත කලේබර, සොහොන් ගල්, සුවිසල් සුසාන භූමි සිහි වීමෙනි ඒ. ඒ නමුත් ඒවා මරණය මෙන්ම අවමංගල්‍යයක් හා සබැඳි සාමාන්‍ය දේවල්ය. කෙසේවෙතත් කැප්සියුලා මුණ්ඩි Capsula Mundi නමැති සමාගමක් දශක කිහිපයක ඇවෑමෙන් විසල් ගසක් පරිසරයට දායාද කෙරෙන භූමදාන ක්‍රමයක් අත්හදා බලමින් සිටියි.

එය සිදු වෙන්නෙ කොහොමද?

මේ අදහස පසුපස ඇත්තේ ඉතාම සරළ ක්‍රමවේදයක් සහ එම ක්‍රියාවලිය ගසක ජීවන චක්‍රය හා දැඩිව බැඳුනක්. කැප්සියුලා මුණ්ඩි සමාගම විශේෂයෙන්  නිපද වූ ශාඛ බීජයක් ලෙස ලබා දෙන බිත්තරයක හැඩති කැප්සියුලයක මෘත දේහය තැම්පත් කිරීමෙන් එය ආරම්භ  වේ.  මුදුනත කුඩා පැලෑටියක්ද සහිත මෘත දේහය තැම්පත් කළ කැප්සියුලය නැතහොත් කළස භූමදානය කිරීම මීළඟ කාර්යයයි. කැප්සියුලය තනා ඇත්තේ පිෂ්ටමය නැතහොත් සෙලියුලෝසමය ප්ලාස්ටික්වලින් නිසා එය සියයට සියයක් ජෛව ජීර්ණයට ලක්වන අතර පසෙහිදී කොම්පෝස්ට් බවට නිරායාසයෙන් පත් වේ.  ඒ අතර ක්‍රමයෙන් කැප්සියුලය තුළ ඇති මෘත දේහයද කොම්පෝස්ට් බවට පත් වෙමින් පෝෂක මුදා හරින්නේ ඉහළින් ඇති ශාඛයේ මූල පද්ධතියට ඒවා උරා ගන්නට සළස්වමිනි.

තමන් ආදරය කරන අය ගසක් ලෙස හෝ සදා ජීවනය අත් කර ගනු දැකීම කැමති අය මේ අදහසට ආදරය කරනු ඇත. එය සුසාන භූමි වැනි මළවුන් නිදන තැන් වඩා ප්‍රීතිදායක හා සජීවී තැන් බවට හරවනු ඇත. සොහොන් ගල් පේළි ඇති බිමකට වඩා පවුලේ අයට හා හිතවතුන්ට පැමිණ නැරඹිය හැකි අනුස්මරණීය වන බිමක් වන එහි විත් තමන්ගේම ගස්වලට සාත්තු කරමින් අහිමි වූවන් හා කාලය ගෙවන්නට පුලුවන.

අවමංගල උත්සවය

සම්ප්‍රදායික මිනී පෙට්ටියේ තැන ගන්නා කැප්සියුලය ගසක් වැඩීමට අවශ්‍ය කාබනික හා ජෛව ජීර්ණ ක්‍රියාවලියට ලක්වන්නකි. එය තුළ ඇති මෘත දේහය කෙමෙන් පෝෂක බවට හැරේ. මුලින් මෙය අරුම පුදුම කාරියක් ලෙස පෙනී ගියත් ඉඳුරාම ස්වභාවික ක්‍රියාවලියකි. මළකඳ දරදඩු වීමට පෙර හෝ පසු කැප්සියුලයට ඇතුළු කළ හැක්කේ එය වුවමනාවට වඩා නොඇදෙන ලෙස තනා ඇති බැවිනි. මළකඳ උක්කුටික ලීලායෙන් කැප්සියුලය තුළ තැම්පත් කළ පසු ශාඛ බීජය හෝ පැළය එහි මුදුනත තැම්පත් කළ යුතුය. රෝපණය කළ යුතු ගස් වර්ගය කල් තබා තෝරා ගැනීමටද පුලුවන. මිනී පෙට්ටියක් තෝරා ගැනීම හා සළකා බලන කළ මෙය විසල් තෝරා ගැනීමක් වන නමුත් පූර්ණ කාබනික විසඳුමකි.

ජෛව හායනික බරණි

ජෛව ජීරක නැතහොත් ජෛව හායනික බරණි නැතිනම් කළස් පිළිබඳ අදහස හදිසියේ උපන්නක් නිසා එය පාරිභෝගිකයින් වෙත මුදා හැරීමට පෙර සකසා ගත යුතු අඩුපාඩු කිහිපයක් වන බව නිෂ්පාදක සමාගම පවසයි.  මෙ වනවිට කැප්සියුලා මුණ්ඩි සමාගම මෘත දේහ තැම්පත් කරන අන්දමට ආදාහනය කළ සිරුරුවල භෂ්මාවශේෂ තැම්පත් කිරීමට සුදුසු, ශාඛ බීජ සහිත ජෛව හායනික කැප්සියුල සැපයීම සිදු කරයි.

පොළවේ තැම්පත් කළ මේ කැප්සියුල ඒවා තුළ ඇති මෘත දේහ පෝෂක මෙන්ම ජීර්ණය වන බිත්තිද වැඩෙන ගසට උරා ගන්නට සළස්වමින් අහිමි වූ සුහදයෝ කොහේ හෝ ජීවත් කරවන්නට අවස්ථාව ලබා දෙයි.

ප්‍රංශ බසින් ඉංග්‍රිසියට පෙරළුවේ Pierre Luc Borie

සිංහල අනුවාදය ලසන්ත ද සිල්වා.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *