මොනරාගල මාධ්‍යවේදියාට පහරදීම පිටුපස දේශපාලන හස්තයක්

අත්අඩංගුවට පත් සැකකරු

මොනරාගල කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන් ඔය හරහා වැටී ඇති පාලම දෙපස සිදුවෙමින් පැවති මහා පරිමාණ වැලි කැනීමේ ජාවාරම වාර්තා කිරීම සඳහා කුඹුකන ප්‍රදේශයට ගිය දෙරණ රූපවාහිනියේ සහ මව්බිම පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරු ඉඳුනිල් විජේනායකට ජාවාරම්කාර මැරයන්ගේ පහරදීමට ගොදුරු වන්නට සිදු විය. පසුගිය ඔක්තොම්බර් 03 වනදා සිදු වූ මෙම පහර දීම නිසා තුවාල ලැබූ ඔහු මොනරාගල මහ රෝහලට ඇතුළත් කළ අතර ලද පොලිස් පැමිණිල්ල මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් දියත් විය.  එම මෙහෙයුම්වල ප්‍රථිඵලයක් ලෙස පහර දීමට සම්බන්ධ එක් සැකකරුවෙකු ලෙස චමීන් ලක්සිරි නමැත්තා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ජොන්ටියා පැන යයි‍

පලා ගිය ජොන්ටියා

රෝහල් ගත ව දින තුනක් ප්‍රතිකාර ලැබූ හා මේ වනවිටත් පහර දීමට ගොදුරු වීමේ කම්පනයෙන් පසුවන මාධ්‍යවේදී ඉඳුනිල් විජේනායක පවසන්නේ තමන්ට බරපතල ලෙස පහර දුන් මැරයා වන කුඹුක්කන ගල් වල පාර පදිංචි ජොන්ටියා නොහොත් සාරංග නමැත්තා අත්අඩංගුවට ගැනීමට මේ දක්වා පොලීසිය අසමත් ව සිටින බවයි.  ජොන්ටියා නමින් හඳුන්වන මෙම මැරයා දේශපාලන සම්බන්ධතා ඇති අයෙකු වන බවද ඔහු නිදැල්ලේ සිටීම තමන්ට තර්ජනයක් විය හැකි බවද මාධ්‍යවේදියා වැඩිදුරටත් පවසයි.

වැලි කතාවේ ඇත්ත කුමක්ද?

කුඹුක්කන් ඔය හරස්කර මෙම පාලම ආසන්නයේ අමුණක්ද ඉදි කර ඇත. ඒ 1897 දී බ්‍රිතාන්‍ය පාලන සමයේදීය.  ඉහළ ජලාධාර ප්‍රදේශවලට වර්ෂාව ඇදහැලෙන විට ගසාගෙන එන වැලිවලින් වරින් වර මෙම අමුණ පිරී ගොඩවන අතර කුඹුක්කන අවට පිරිස් කලක සිට එම වැලි ඉවත් කරගෙන ඇති අතර ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමක් මුල් කාලයේ සිදුව නොමැත.  පසුගිය කාලයේද වැලි සහ රොන්මඩ එකතු වීම නිසා අමුණ ගොඩ වී ඇති අතර මොනරාගල දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා මෙම කුඹුක්කන අමුණ හා තවත් අමුණු කිහිපයක වැලි ඉවත් කර ගැනීමට විවෘත ටෙන්ඩර් කැඳවීමක් කර ඇත.  ඔහු විසින් ටෙන්ඩර් කැඳවන ලද සෙසු අමුණු වන්නේ, බුත්තල, හුලංදාව හා සුදුපානාවෙල අමුණු ය. කුඹුකන අමුණේ වැලි ඉවත් කර ගැනීමේ ටෙන්ඩරය බදුල්ලේ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 15කට හිමි කරගෙන ඇත. මාස එකහමාරක පමණ කාලයක සිට ඔහු විසින් වැලි ඉවත් කරගනු ලැබ ඇති අතර වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත රොන්මඩ සහ දිරාගිය ගස් කඳන් ආදියද ඉවත් කර ගත් බව පවසයි.

පාලමෙි පාදම දක්වා හාරා ඇත.

එහෙත් වැලි හා රොන්මඩ ඉවත් කිරීමෙන් සෑහීමකට පත් නොවූ පිරිස තවදුරටත් අමුණ හාරමින් මැණික් ඉල්ලම් සොයන්නට පටන් ගෙන තිබුණේ පාලම දෙපස ඛාදනය වන ලෙස මහත් පරිසර විනාශයක් සිදු කරමිනි. මාධ්‍යවේදී ඉඳුනිල් විජේනායකට අවශ්‍ය වූයේ එහි ඇත්ත නැත්ත සොයා බලා වාර්තා කිරීමටයි. ඔහු ප්‍රහාරයට ගොදුරු වූයේ එහි ගිය අවස්ථාවේදීයි.

මට වුවමනා වුණේ අමුණ පිරිසිදු කරන්න විතරයි – වාරිමාර්ග අධ්‍යක්ෂ 

මොනරාගල දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ නෙලුගොල්ල මහතා මේ සිදුවීමට අදාලව කරුණු විමසූ මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ තමන්ගේ එකම වුවමනාව අමුණ පිරිසිදු කර ගැනීම පමණක් වූ බවයි.  කාලයක් තිස්සේ මෙම අමුණේ වැලි නොමිලයේ ඉවත් කර ගැනීම සිදු වූ බවත් තමන් ඊට මිලක් නියම කර රජයට රුපියල් ලක්ෂ 15ක ආදායමක් හිමි කරදුන් බවත් ඔහු පවසයි. සෑම වසරක් පාසාම අමුණේ පිරෙන වැලි ඉවත් කළ යුතු බවත් තමන් ඒ සඳහා අවශ්‍ය අවසරය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් මාධ්‍යයට පවසා තිබුණේ ය. “දුන්න අවසරය අනුව මෙතැනින් වැලි සහ රොන්මඩ ඉවත් කරගෙන තියෙනවා. ඒ රොන්මඩ කොහේට කොහොම ගෙනියනවද කියන එක මට අදාල කාරණාවක් නෙවෙයි. මේ පිරිස ඒවා ගෙනියන්න අවශ්‍ය ප්‍රවාහන බලපත්‍ර ලබාගෙන තියෙනවා” යැයිද වාරිමාර්ග අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයේ සඳහන් වේ.  එහෙත් අපට පෙනෙන අන්දමට එය හතරබීරි කතාවකි. බලපත්‍ර දුන් පලියට ඕන කෙංගෙඩියක් කරගත්තදෙන් යැයි කියා පැත්තකට වී සිටීම වගකිව යුතු රාජ්‍ය නිලධාරියෙක් ලෙස ඔහුට තරම් වේද යන්න බරපතල ගැටලුවකි. මේ ජාවාරම්කරුවන් තවදුරටත් කැණීම් සිදු කළේ නම් පාලමේ පාදම හැරී එය අවදානමට ගොදුරු වන්නට ඉඩ තිබුණි. අමුණ දෙපස ඇති කුඹුකන දෙමළ විද්‍යාලය හා සිංහල විද්‍යාලයේ ක්‍රීඩා පිටි ඛාදනය වී කුඹුකන් ඔයට මුසු වෙන්නට ඉඩ තිබුණි. අමුණ අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැඹුරු වූයේ නම් පහළින් ඇති අමුණුවලට ජලය හිඟ වී ඔක්කම්පිටිය ගොවි ජනපදවල ජනයාට ගැටලු මතු වන්නට ඉඩ තිබුණි.

ඉල්ලම් පස් සනීගේ වත්තේ

අන්තිමේදී මාධ්‍යවේදී ඉඳුනිල්ට පහර දීමත් සමග සැඟව යාමට ඉඩ තිබූ තවත් කතාවක් කරලියට ආවේය.  ඒ වැලි කැණ, රොන් මඩද ඉවත් කර අවසානයේ ඉවක් බවක් නැතිව අමුණ හාරමින් සිටි බවයි. එසේ අමුණ හාරමින් තිබුණේ මැණික් ඉල්ලම් ගොඩ ගැනීමටයි.  එසේ ගොඩගත් ඉල්ලම් සහිත වැලි හා පස් කියුබ් හතළිහක් බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විය.  ඒවා ප්‍රවාහනය කොට ගොඩ ගසා තිබුණේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු හා ව්‍යාපාරිකයෙකුද වන සනී ද සිල්වා නමැති අයගේ ඉඩමකය. මාධ්‍යවේදීන් ඒ සම්බන්ධව ඔහුගෙන් කළ විමසීමේදී ඔහු පවසා තිබුණේ ඊට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවයි. එයද හතරබීරි කතාවකි. තමන් නොදැන පිටස්තර අයෙකු තම ඉඩමට වැලි හා ඉල්ලම් පස් කියුබ් හතළිහක් ගෙනැවිත් ගොඩ ගසන තුරු සනී ද සිල්වා නිදා සිටියේදැයි විමසන්නට තරම්  ඒ කතාව විමතියට හේතු වේ. 

කෙසේවෙතත් මේ වනවිට පිඹුරු පත් සකසා ඇත්තේ කුඹුකන අමුණේ මැණික් ඉල්ලම් ගොඩ දා ගැනීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා වෙන්දේසියක් සිදු කිරීමටයි. එයද නියාමනයක් හා අධීක්ෂණයක් රහිතව සිදු වුවහොත් ඉඳුනිල් වැනි මාධ්‍යවේදීන් ගුටි කමින් රැක ගන්නට උත්සාහ කළ පාලමද පාසල් දෙකක ක්‍රීඩා පිටිද අහිමි වනු ඇත. පරිසරය වැනසී ඔක්කම්පිටියට ජලයද හිඟ වනු ඇත. මේ වනවිට ජාත්‍යන්තර අවධානයටද ලක්ව ඇති ලංකාවේ පාරිසරික මාධ්‍යවේදයේ ඉරණමද තවත් තිත්ත වනු ඇත.

ලසන්ත ද සිල්වා

ඡායාරූප – ඉන්දික ගරුසිංහ

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *