යටිනුවර ලංගම රියදුරාගේ නොසැළකිල්ල. මගීන් කොවිඩ් අවධානමේ

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක් නිරෝධායනය වී කෑගල්ල අධිකරණය මගින් ඇප මත මුදා හරින ලද යටිනුවර ඩිපෝවේ බස් රථ රියදුරෙකු කොවිඩ්  අසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමඟ එම ඩිපෝවේ සේවකයින් හා එම ඩිපෝවට අයත් බස් රථවල ගමන්ගත් මගීන් දැඩි අවධානමකට ලක්ව ඇත.

කෑගල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසු පොලීසිය විසින් මෙම රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

දින 14 ක් බෝගම්බර පැරණි බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා තැබීමෙන් අනතුරුව ඔහුට කෑගල්ල අධිකරණය මගින් ඇප නියම කර ඇත.

ඔහු නියමිත දින ගණන ස්වයං නිරෝධායනයට ලක්නොවී සේවයට වාර්තා කර තිබේ. එම රියදුරු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගැනීමත් සමඟ ඔහුගේ දෙවන පෙළ ආශ්‍රිතයින් පිරිසක් නිරෝධානය සඳහා නිවෙස් වලට යැවීමට ඩිපෝ අධිකාරිවරයා කටයුතු කළේ යැයි කියන සිද්ධියකට එහි සේවකයෝ දැඩි විරෝධය පළකර තිබේ.

පොලීසිය මැදිහත්ව එම පිරිස ලංගමට අයත් නිවාඩු නිකේතනයක් වෙත යැවීමට පියවර ගත් බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීය.

දෙවන පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් රියදුරු හා කොන්දොස්තරවරු අද (15) දහවල්  කාලය වනතුරුම බස් රථවල සේවය කිරීම නිසා එම බස් රථවල ගමන්ගත් මගීන් දැඩි අවධානමකට ලක්ව තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *