යාන්ඔය හරස් කළ වේල්ලේ දියෙන් උපන් සංහිඳියාව

ජලය මූලික කොට අපේ රටේ දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වූ අතරම මේවනවිටත් එවැනි දැවැන්ත ව්‍යාපෘති රැසක නිමැවුම් අවසන් භාගයට පැමිණෙමින් තිබේ. පහළ යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය ද එවැනි වැඩ අවසන් වී ඇති දැවැන්ත ජලාශ ව්‍යාපෘතියකි.මධ්‍යම පළාතේ දඹුල්ලට නුදුරු සීගිරිය පර්වත ආසන්නයේ සීගිරි මුල්ලෙන් ආරම්භවන යාන්ඔය හුරුලුවැව පෝෂණය කර වසරකට ජල ලීටර කෝටි ප්‍රකෝටි ගණනක් ත්‍රිකුණාමලයෙන් මහ මුහුදට එක් කළේ කිසිදු පල ප්‍රයෝජනයක් නොගෙනම ය.
යාන්ඔය හරස්කර වේල්ලක් ඉදිකර ජලය රැස්කර නැගෙනහිර පළාතේ පානීය ජල අවශ්‍යතා ඉටු කරදීම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ වූවත් යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය වෙනුවෙන් කැපකිරීම් සිදු කළ විශාල පිරිසකගේ නිහඬතාව සැබැවින්ම මතු කරන්නේ සංහිඳියාවේ හඬයි.

හොරොව්පතාන වාගොල්ලාකඩ ගම්මානයේ පදිංචි පාරම්පරික ගොවි මහතෙකු වන එම්.කිරිහාමි (69) සිය අතීතය මෙනෙහි කළේ මේ අන්දමිනි.
“ යාන්ඔය ව්‍යාපාරය පටන්ගන්න කලිං මිනුම් මහත්තුරු ඇවිත් අපේ වෙල් කුඹුරු මැන්නා.අපි ඇහුවා ඇයි අපේ කුඹුරු ඉඩම් මනින්නේ කියල.එතකොට කීවා සීමාවන් ලකුණු කරන්න කියල . අපිට ඒ ගැන පැහැදිලි අදහසක් තිබුණේ නැහැ මොනවද කරන්නේ කියල.ඒ වුණත් අපි දැනගෙන හිටියා තිරිකුණාමලේ දිස්ත්‍රික්කෙ මිනිස්සුන්ට බොන්නයි වගාවටයි තමයි වතුර දෙන්න ව්‍යාපෘතිය පටන් ගන්න යන්නෙ කියල.
නියඟය කියන්නේ අපේ ජීවිතත් එක්ක බැඳුණු දෙයක්.

එම්. කිරිහාමි

අපිට වගේම තිරිකුණාමලේ අයටත් නියඟය එක සමානව තියෙනවා. අපි බොහොම සන්තෝෂ වුණා ව්‍යාපෘතිය ගැන. ගෝමරන්කඩවල  පැත්තේ අපෙත් නෑයෝ මිත්තරයෝ ඉන්නවා .යුද්ධ කාලේ ඒ අය වැඩිහරියක් ජීවත්වුණේ කදවුරුවලයි  අපේ ගම්වලයි. ඒ නිසා අපි දන්නවා ඒ අයගේ දුක් කඳුළු. කන්නයක් වගාකරනවා කියන්නේ හීනයක්. වතුර ඒ තරමටම හිඟයි. අවුරුදු විසිපහකට ආසන්න කාලයක් යුද්දෙ නිසා ඒ මිනිස්සු හරියට දුක් වින්ද. දෙමළ ද සිංහල ද කියන එක නෙවෙයි අපිට ප්‍රශ්නේ ඒ හැමෝම මිනිස්සු . එහෙ ඉන්නෙත් දක්ෂ ගොවියො. ගෝමරන්කඩවල අවට ගම්මාන ගොඩක් තියෙනවා දෙමළ ජනතාව පදිංචිවෙලා ඉන්න .ඒ අයට මේ ව්‍යාපෘතියෙන් ලොකු සහනයක් ලැබෙනවා. අපි ඒකට කැමතියි . ඒ අයට බොන්න වතුර හොයාගෙන හැතැප්ම ගණන් යන්න වෙලා තිබුනේ. ඒ මිනිස්සු යුද්ධ දෙකකට මැදිවෙලා හිටියෙ. එකක් ජීවිත භය අනෙක ජීවත්වෙන්න වතුර නැතිව.
ව්‍යාපෘතිය හින්ද අපිට අලාභ වුණා තමයි. අපේ කුඹුරු ඉඩකඩම් හරක බාන නැති වුණා. පාරවල් යටවෙලා නෑයෝ මිත්‍රයො ඈත්වුනා. ඒ වුණත් නැගෙනහිර අපේම විශාල පිරිසකට බොන්න වතුර ලැබෙනවා. යලයි මහයි දෙකම වගාකරන්න පුළුවන්.අපි අපේ දේවල් කැප කළේ ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන්. අද වෙනකොට ජලාශය සම්පූර්ණයෙන්ම පිරිල සීමාවන් පහුකරල අපේ කුඹුරු යටවෙලා. ඒවුණත් සැබෑ බෞද්ධයන් වශයෙන් අපි කැපකිරීමක් කළා නැගෙනහිර ජීවත්වෙන අපේම මිනිස්සු වෙනුවෙන්. මේ ලෝකෙට කවුරු වතුර මැව්වද දන්නේ නැහැ, හැබැයි වතුර හැමෝටම අයිතියි”  

හොරොව්පතාන නගරයේ පදිංචි අනුර වික්‍රමසිංහ මහතාට යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය හා ඇත්තේ ගහට පොත්ත මෙන් බැඳුණු සබැඳියාවකි. ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවේදී  ගම්වාසීන් හා නිරන්තරවම සබඳතා පැවැත්වීම නිසා විටෙක ඔහු ව්‍යාපෘතියේ නිත්‍ය  නියෝජිතයෙක් විය.

අනුර වික්‍රමසිංහ

“2012 අවුරුද්දේ ව්‍යාපෘතිය ආරම්භ කරනකොට විශාල ගැටලුවක් වුනේ මේ ව්‍යාපෘතිය කවුරුන් වෙනුවෙන්ද කියන එක. පදවියට එක ඇළකුත්  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තව ඇළකුත් කපනවා කීවාම පිරිසක් විරුද්ධ වුණා. අවුරුද්දේ තුන්සිය හැටපස් දවසෙම කිසිම ප්‍රයෝජනයක් නැතිව මුහුදට යන ජලයට අයිතිවාසිකම් කියන්න පටන් ගත්ත.  හරිම වෙහෙසක් ගන්න වුණා මිනිස්සුන්ගෙ මනස වෙනස් කරන්න. හොරොව්පතාන අවට ගම්මානවල ජනතාවගේ විරෝධය ආවාට වාහල්කඩ ජනතාවගේ ඒ තරම් විරෝධයක් ආවේ නැහැ ඒ ඔවුන්  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ඇතුළු ගම්මානවලට නිරතුරුවම යන එන නිසා. මිශ්‍ර  විවාහ වෙලා තියෙනවා නෑදෑ සබඳතා තියෙනවා. ඒ වුණත් මේ දෙගොල්ලගේ අදහස් යෝජනා පෑහුනේ නැහැ.
ව්‍යාපෘතියත් හෙමින් හෙමින් යනකොට ව්‍යාපෘතියේ තියෙන අඩු ලුහුඬුකම් නිසා මේ දෙගොල්ල එකමුතු වුණා. ගෝමරන්කඩවල දෙමළ – සිංහල අයත් හරි හරියට මේ අයට උදව්වට ආවා.ඒ හැමෝම එකමුතු වුණා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාති ආගම් භේද අමතක කරල. මටත් කරන්න පුළුවන් උපරිමය කළා මේ අය වෙනුවෙන්.
මේ වෙනකොට ජලාශය හදල වතුර පිරිල උතුරල යනවා. ඒ වුනත් ජනතාවගේ ප්‍රශ්න  තවම එහෙමම තියෙනවා. හරි හැටි වන්දි ලැබුණෙ නැහැ. අද වෙනකොට හොරොව්පතානයි වාහල්කඩයි සම්බන්ධවෙන පාර සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙලා. කැබිතිගොල්ලෑවට ගිහිල්ල තමයි මේ අයට යන්න එන්න වෙලා තියෙන්නෙ. ව්‍යාපෘති සැලසුමේ තිබුණු විදිහට අලුත් පාරක් හදනවා කීවාට ඒක තවම ඉෂ්ඨවෙලා නැහැ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න දැං ඉදිරිපත් වෙන්නේ සාමුහිකව. කිසිම ජාති භේදයක් නැහැ. ගෝමරන්කඩවල අලුත් ඉඩම් හම්බුවුණු අය එකට කුඹුරු කොටනවා හේන් අස්වද්දනවා.
ව්‍යාපෘතිය හින්ද වැඩිම පාඩුවක් සිද්ධ වුනේ සිංහල බෞද්ධ අයට. ඒ අයගේ පුරාණ ගම්බිම් යට වෙලා. මේ වෙනකොට අලියාකඩ, මාවතවැව ගම්මාන සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙලා. කුඹුරු ඉඩම් තිබුන තැනක්වත් හොයන්න නැහැ. අද වෙනකොට මේ අයට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කජුවත්තෙන් ඉඩම් ලැබිල තියෙන්නේ. එහෙ දෙමළ අයත් එක්ක සංතෝසෙන් ඉන්නවා. ව්‍යාපෘතියේ අඩුපාඩුකම් එමටයි. ඒ වුණත් ඒ හැම අඩුපාඩුවක්ම පිරිමහගන්න මේ අය අද වෙනකොට පෙරමුණ අර ගෙන කටයුතු කරනවා ”.
ජලය මුල්කොට සාමය සහජිවනය ඇතිකිරීම ව්‍යාපෘතියට අයත් කාර්යයක් නොවිම බහු ජාතික බහු ආගමික පීඩිත ජනතාවක් වාසය කරන පළාතක දුෂ්කර කටයුත්තකි. එහි වෙසෙන ජනතාව  ස්වඋත්සාහයෙන් හා ස්වකැමැත්තෙන් ම මේ සඳහා කළ කැපවීම අතිශයින්ම විරළ සිදුවීමකි.

උපුල් තම්මිට

කැටමරාන් අනුග්‍රහයෙනි

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *