යාපනයේ හැර සෙසු ප්‍රදේශවල දරුවන් පාසල් පැමිණීම අඩුයි.

මහනුවර පාසල් 15 ක් වහලා

තෙවන පාසැල් වාරය ආරම්භ වුවත් මධ්‍යම පළාතේ පාසැල් 15 ක් අද (23) විවෘත නොකළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා පවසයි.

මහනුවර අධ්‍යාපන කළාපයේ පාසැල් දෙකක්,කටුගස්තොට අධ්‍යාපන කළාපයේ පාසැල් 07 ක්,හැටන් අධ්‍යාපන කළාපයේ පාසැල් 05 ක් සහ මාතලේ අධ්‍යාපන කළාපයේ 01 ක් මෙලෙස විවෘත නොකළ බව ඒ මහතා කීය.  කොවිඩ්-19 වෛරස් ආසාධිතයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් සිටින බවට හඳුනාගත් ප්‍රදේශවල පිහිටි පාසැල් මෙලෙස අද (23) දින විවෘත නොකළ බවත් සෞඛ්‍ය අංශ උපදෙස් මත ඉදිරියේදී එම පාසැල් විවෘත කිරීම සම්බන්ධ තීරණයක් ගන්නා බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

පළාතේ සමස්ත සිසු පැමිණීම 60% ක පමණ මට්ටමකද ගුරුවරුන්ගේ පැමිණීම 80% ක පමණ මට්ටමකද පැවැතියේ යැයි හෙතෙම අවධාරණය කළේය. මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 264 ක් දක්වා ඉහළ නැග තිබෙන බව  මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 144 කි.නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 83 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 37 දෙනෙකුද වාර්තා වූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පවසයි.                                                                                                                  මහනුවර ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරිනියකටත්  මහනුවර මහ නගර සභාවේ සේවකයෙකුටත් කොවිඩ් ආසාදනය වී තිබෙන බව තහවුරුව ඇත.

තෙවන වාරය සඳහා පාසල් අද (23) දින ආරම්භ කළ ද පාතහේවාහැට අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල්වල සිසුන්ගේ පැමිණීම බෙහෙවින් අඩු මට්ටමක පැවැතිණි .  එහෙත් ගුරුවරුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි දක්නට ලැබෙන බව විදුහල්පති වරු පැවසූහ.

බෝපිටිය රාජසිංහ ජාතික පාසලේ  අද දින පැමිණීම සිසුන් 161ක් වු අතර හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 1614 ක ගෙන් අද දින පැමිණීම 206 ක් විය.  පාතහේවාහැට අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල්වල සිසුන්ගේ පැමිණීම ප්‍රතිශතයක් ලෙස 33% දක්වා පහත බැස තිබේ.

මධ්‍යම පළාතේ මාතලේ නාඋල ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ පැමිණීම බෙහෙවින් අඩුව තිබූ අතර එය සියයට පහකටත් අඩු තත්ත්වයකි.  දරුවන් පාසල්වලදී සමාජ දුරස්ථ බව පවත්වා නොගැනීම නිසා පාසල් යැවීමෙන් වැළකී සිටි බව දෙමව්පියෝ පැවසූහ.

කොරෝනා නිසා අනුරාධපුර පාසලක් වැසෙයි

අද   (23) විවෘත කිරීමට නියමිතව තිබූ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ මහබුලන්කුලම විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගනු ලැබිණ.  ඒ කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයෙකු හමුවීම නිසාවෙනි.  කොරෝනා ආසාදිතයැයි තහවුරු වූ පුද්ගලයා මහබුලන්කුලම වීරවැව පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙකි.  වීරවැව සිට සිසුන් 30දෙනෙකු පමණ පාසලට පැමිණෙන නිසා පාසල විවෘත නොකරන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත.

අනුරාධපුර පොතානේගම විද්‍යාලයට සිය දරුවන් නොයවන බව දෙමව්පියන් පවසන අතර ඒ පවතින සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා බවද ඔවුන් පෙන්වා දෙයි. සිසුන් 300කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන මෙම පාසලට අද දින පැමිණ සිටියේ සිසුන් 15කි.

හැටන්හී පාසල් 05ක් වසා දැමේ

අද පාසල් විවෘත කළද හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් 05ක් වසා තැබීමට පියවර ගත් බව අප වාර්තාකරු පවසයි.  ඒවා නම් වටවල මලෛමගල් දෙමළ විද්‍යාලය, වැලිඔය අග්‍රාඔය දෙමළ විද්‍යාලය, ගිනිගත්හේන නිශ්ශංකමල්ල විද්‍යාලය, මාදෙණිය සිංහල විද්‍යාලය, අඹතලාව දෙහිගස්තැන්න විද්‍යාලය යන පාසල් ය. එම පාසල් අවට කොවිඩ් 19 රෝගයට ගොදුරුව ඇතැයි තහවුරු වූ පුද්ගලයන් සිටින නිසා මෙම පියවර ගත් බව ඔහු සඳහන් කරයි.

ගාල්ලේ සිසුන්ගේ පැමිණීම සියයට 20

අද දවසේ නිසි සෞඛ්‍ය පියවර ගනිමින් පාසල් විවෘත කළද සිසුන්ගේ පාසල් පැමිණීම බොහෝ සෙයින් අඩු වූ බව වාර්තා වේ.  අප සමඟ අදහස් දැක් වූ බොහෝ පාසල්වල විදුහල්පතිවරු පවසා සිටියේ සිය පාසල්වල සිසුන්ගෙන් සියයට 80ක් පමණ අද (23) දින පාසල් වෙත නොපැමීණිි බවයි. ගාලු දිසාවේ සියලු පාසල්වල සිසුන්ගේ උෂ්ණත්වය මැනීමට අවශ්‍ය පහසුකම්ද සපයා තිබුණි.

යාපනයේ සිසුන්ගේ පැමිණීම ඉහළයි

ඒ අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරමින් යාපනය අර්ධද්චීපයේ පාසල්ද  අද විවෘත කරනු ලැබූ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව යාපනයේ සිසුනගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින බව දක්නට ලැබුණි. යාපනයේ පාසල්වල 06 සිට 13 ශ්‍රේනි දක්වා පංති ආරම්භ කිරීමට පෙර ආරක්ෂක අංශවල සහය ලැබූ සෞඛ්‍ය බලධාරීන් සියලු ගොඩනැගිලි පූර්ණ විෂබීජහරණයට පියවර ගෙන තිබුණි.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *