යුද්ධ හමුදාවෙන් රුපියල් කෝටි තුනක කහ අත්අඩංගුවට ගනී

දිලංක ගුණතිලක

සුළු අපනයන බෝග ආනයන  හා ප්‍රති අපනයන කිරීම   තහනම් කිරීමට රජය පියවර ගැනීමත් සමඟ මෙරටට නීති විරෝධී අයුරින් ආනයනය කළ කහ තොග අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පියවර ගත්තේය.

එලෙස මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන්වා ප්‍රවාහනය කළ සහ ගබඩා කර තිබූ කහ කිලෝ 5266ක් අත්අඩංගුවට ගැනීමට යුද්ධ හමුදාව සමත් විය. එම කහ තොගයේ දළ වටිනාකම රුපියල් තුන් කෝටි හැට අට ලක්ෂ හැට දෙදහසක් පමණ වේ. මීට අමතරව යුද්ධ හමුදාව විසින් ගංජා සහ කේරළ ගංජා කිලෝ 466ක් අත්අඩංගුවට ගැනීමට මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ කටයුතු කළේය.

එසේම යුද හමුදාව විසින් මේ වන විට අයිස්, හෙරොයින්, කංසා, හෂීෂ්, බ්‍රවුන් ශුගර් මෙන්ම නීති විරෝධී මත්පෙති විශාල ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ පූර්ණ අධීක්ෂණය සහ මඟපෙන්විම මත ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ගේ සෘජු මැදිහත්වීම මත යුද්ධ හමුදා මාර්ග බාධක, ක්ෂණික වැටලීම් සහ බුද්ධි තොරතුරු පදනම්ව සිදුකරන මෙහෙයුම් මඟින් මෙලෙස කහ සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍යය තොග අත්අඩංගුවට ගෙන ඇත. නිතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ කහ, මත්ද්‍රව්‍ය, මත්කුඩු සහ ජාවාරම්කරුවන්ගේ ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා රජය විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙල සඳහා යුද්ධ හමුදාව විසින් මෙම වසරේ ගතවූ මාස එකොළහ තුල දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් ‌මෙලෙස කහ සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍යය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් ඉදිරියේදීත් මෙවැනි මෙහයුම් තවත් පුළුල්ව ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *