රජයේ මුදල් කාරක සභාවෙන් චමින්ද සහ හේෂා ඉල්ලා අස්වෙති.

ස්ථාවර නියෝග 121 හි සඳහන් පරිදි සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දීම මෙතෙක් සිදු වූ බවද එය නොතකා කටයුතු කරමින් ආණ්ඩුවට අවශ්‍ය ලෙස කාරක සභාවේ සංයුතියද විකෘති කර ඇති නිසා තමන් සහ හේෂා විතානගේ මන්ත්‍රීවරයා ඉන් ඉල්ලා අස් වූ බව ejournalist වෙත අදහස් දක්වමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පැවසීය.  ඔහු එලෙස අදහස් දැක්වූයේ චමින්ද විජේසිරි හා හේෂා විතානගේ මන්ත්‍රීවරුන් දෙදෙනා රජයේ මුදල් කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇතැයි ඊයේ (26) එය රැස් වූ අවස්ථාවේ එහි සභාපති අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීම සම්බන්ධව අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ඒකාබද්ධ අරමුදලින් වියදම් දැරීම සම්බන්ධව පළමු රැස්වීමට සහභාගි වෙමින් තමන් හා හේෂා විතානගේ ප්‍රශ්න කළද පැහැදිලි පිළිතුරු නොලද අතර  මන්ත්‍රී ඩිලාන් පෙරේරා එදින පැවසුවේ මේ කමිටුවේ හැසිරීම යහපාලන සමයේ මෙන් නොව ආණ්ඩුවට වුවමනා අන්දමට සිදුකරන බව යැයිද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එම්. ඒ සුමන්දිරන් මන්ත්‍රීවරු තවදුරටත් විපක්ෂය නියෝජනය කරමින් මෙම කමිටුවේ රැස්වීම්වලට සහභාගි වෙති. අනාගතයේ ආර්ථිකයට බලපාන නිසා අයවැය සම්බන්ධ සියලු දත්ත ඉතාම නිවැරදි වීම අතිශයින් වැදගත් බව 26දා පැවති කාරක සභා රැස්වීමේදී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා තිබේ. එම රැස්වීමේදී අනාවරණය වී ඇති අන්දමට 2020 වසරේ රාජ්‍ය මූල්‍ය ආදායමෙන් සියයට 74ක් හෙවත් අපේක්ෂිත  රුපියල් බිලියන 1580න් බිලියන 1124ක් මේ වනවිට ලැබී ඇත. ඒ අනුව ප්‍රකාශිත දත්ත නිවැරදි නම් 2020 වසරේ මෙරට ආර්ථිකය යහපත් බව කාරක සභාව පිළිගෙන ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *