රට ව්‍යාකූලයි. ඡන්ද එපා මහ සඟරුවන

මේ වන විට රටේ යම් ව්‍යාකූලකාරි තත්වයක් උද්ගතව පවතින අවස්ථාවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට රජය උත්සාහ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව මල්වතු අස්ගිරි උභය මහා විහාර මහා සංඝ රත්නය අවධාරණය කරති.

මෙම අවස්ථාවේ පළාත් සභා මැතිවරණ නොපැවැත්විය යුතු බවට රජයට බල කරනා ලියවිල්ලකට අත්සන් ගැනීම සඳහා ජාතික සංවිධාන එකමුතුව 27 දින මල්වතු අස්ගිරි මහ විහාර වෙත පැමිණි අවස්ථාවේ මහා සංඝරත්නයේ ඉහත විරෝධය පළ වීය.

මෙහිදී අදහස් පළ කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නාහිමියෝ සඳහන් කළේ මෙම අවස්ථාවෙහි සෞඛ්‍යය ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් කඩා වැටී ඇති ආර්ථිකය යළි නගා සිටුවීම උදෙසා පවතින ජාතික ධනය ආරක්ෂා කරගනිමින් කටයුතු කරනවා විනා මැතිවරණ පවත්වමින් එම ධනය නැති නාස්ති නොකොට ජනතාවට සහන ලබා දිය යුතු බවය. මෙය මැතිවරණ පැවැත්වීමට අවස්ථාව නොවන බවද උන් වහන්සේ කිහ .

ජාතික සංවිධානය එකමුතුවෙහි නියෝජිතයෝ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් බැහැදැක එම ලියවිල්ල සඳහා අත්සන් ලබා ගත් අතර මැදගම ධම්මානන්ද නාහිමියෝ මෙහිදී කියා සිටියේ මෙම අවස්ථාවේ කිසිසේත්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය ඉක්මන් නොවිය යුතු බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නාහිමියෝ මෙසේද කීහ. මේ වන විට අප රට සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට මැදිව ජන ජීවිතය විශාල වශයෙන් අඩාළව පවතින මොහොතක්.එවන් මොහොතක පළාත් සභා මැතිවරණ පැවැත්වීමට රජය තීරණය කිරීම ඉතාමත් අදුරදර්ශී පියවරක් වශයෙන් මහා සංඝරත්නය ලෙස අප අවධාරණය කරනවා. මේ අවස්ථාවේ රජය කළ යුත්තේ මැතිවරණ පැවැත්වීමට ඉක්මන් වීම නොව කඩා වැටී ඇති ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය සෞඛ්‍ය ආර්ථික පහසුකම් නගා සිටුවීමට කටයුතු කිරීමයි. ඉන් අනතුරුව මැතිවරණ පිළිබඳව සිතා බැලිය හැකි බවද උන්වහන්සේ කීහ.

ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් පැමිණි කැලණි විශ්ව විද්‍යාලයේ සිංහල අංශ අංශාධිපති පුජ්‍ය ආචාර්ය මල්වානේ චන්ද්‍රරතන හා කැලණි විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ආචාර්ය කපුගොල්ලේ ආනන්ද කිත්ති හිමිවරු මෙහිදී සඳහන් කළේ මෙය කිසිසේත්ම මැතිවරණ පැවැත්වීමට සුදුසු කාලවකවානුවක් නොවන බවය. මෙරට පැවැති ජාතිවාදී , බෙදුම්වාද ගැටළුවට විසඳුමක් වශයෙන් ඉන්දියාව බලහත්කාරයෙන් අප රට මත පැටවූ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කොට මෙතෙක් කලක් ගත වුවද එමගින් මේ දක්වාම බෙදුම්වාදයට කිසිදු හෝ උත්තරයක් ලැබී නොමැති බවත්, රජය මැතිවරණයට පෙර පොරොන්දු වූ ආකාරයෙන් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වසරක් තුළ අවසන් කරන ලෙසත් , නව ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙර පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙසත්, නව ව්‍යවස්ථාවක් මඟින් පවතින පළාත් සභා වලට විකල්පයක් ලෙස හඳුන්වාදීමට නියමිත පරිපාලන බලතල විමධ්‍යගත කිරීමේ වන ව්‍යුහය කුමක්දැයි ආණ්ඩුව විසින් පැහැදිලි මතයක් ප්‍රකාශයට පත් කරන ලෙසත්ය.

මෙම ආණ්ඩුව පත් කිරීම සඳහා ගාමක බලවේගයක් ලෙස පෙනී සිටිමින් ජනතාව මෙහෙයවන ලද ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරනු ලබන ජාතික බලවේගය 2019 නොවැම්බර් 16 ඓතිහාසික ජනවරමට සාධාරණය ඉටු කිරීමට බැඳී සිටින බවත් එහෙයින් මෙම ඉල්ලීමට පිටුපා පළාත් සභා මැතිවරණය පැවැත්වීම රජය උත්සහ කළහොත් ඊට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බව උන්වහන්සේ සඳහන් කළහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *