රන්ජන්ගේ හඬ පට සහ නීතියේ ආධිපත්‍යය

රන්ජන් රාමනායක මහතාගේ හඬ පට හේතුවෙන් සමාජය තුළ මහත් කැළඹීමක් හටගෙන තිබෙනවා. හඬ පට එක් ලක්ෂ විසි දෙදහසක් පමණ තියෙන බවයි ප්‍රකාශ වන්නේ. දිනකට හඬ පට තුන බැගින් මාධ්‍යයට නිරාවරණය වුවත් සියලු හඬ පට මාධ්‍ය මගින් නිරාවරණය කිරීම සඳහා ඒ අනුව වසර 111 ක් පමණ ගත වනවා. එ නම් අප කිසිවකු ගේ ජීවිත කාලය තුළ නම් එම සියලු හඬ පට වලට සවන් දීමට නො හැකි වනවා. .කෙසේ වෙතත් බොහෝ දෙනෙක් මේ දිනවල දිනපතා ප්‍රවෘත්ති ඇසීම සඳහා ජනමාධ්‍ය වෙත යොමු වන්නේ රන්ජන් ගේ අලුත් හඬ පට වලට සවන් දීම පිණිස බව දක්නට ලැබෙනවා. ඇත්තෙන් ම මෙම හඬ පට වල ඇත්තේ රන්ජන් රාමනායක තවත් එක් එක් පුද්ගලයන් සමග පවත් වන ලද පෞද්ගලික  දුරකතන සංවාද බව පැහැදිලියි.අනුන්ගේ පෞද්ගලික කතා වලට සවන් දීම දුසිරිතක් බව අප කුඩා කාලයේ දී වැඩිහිටියන් විසින් අපට කියා දී තිබුණා මතකයි.නමුත් ඒ නොතකා අනුන්ගේ ඕපාදූප සොයන බොහෝ දෙනා ඒ කාලෙත් ගම්වල ප්‍රසිද්ධ ව සිටියා. ඒ අවධියේ මේ සඳහා ප්‍රසිද්ධව සිටියේ කාන්තාවන් .මේ ඕපාදූප වැඩි වශයෙන් කතා කරන්නේ ගමේ පොදු නාන ළිඳ අසල දී .මේ නිසා අනුන්ගේ ඕපාදූප සොයන ළිඳ ළඟ සංගම් ඒ අවධියේ ගොඩක් ජනප්‍රියයි.මෙවන් අනුන්ගේ ඕපාදූප පතුරන අය පසුකාලීනව   “රොයිටර්” සහ එවන් පිරිමින් “චීත්ත” ලෙසත් හඳුන්වන්න පුරුදු ව තිබුණා කාලයාගේ ඇවෑමත් සමග තාක්ෂණයේ දියුණුව හේතුවෙන් ජංගම දුරකථන ආදිය දියුණු වීම නිසා සහ සමාජ ජාල වෙබ් අඩවි ජනප්‍රිය වීම හේතුවෙන් මෙම ඕපාදුප සෙවීමත්, ලිඳ ලඟ සංගමයත් නවීකරණයට භාජන වී දුරකතන සහ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ නව මඟක් ගෙන ක්‍රියා කරනු දක්නට ලැබෙනවා.  

සදාචාරාත්මකව කෙතරම් නුසුදුසු වුවත් ඕපාදූප ඇසීම බොහෝ දෙනා ප්‍රිය කරන දෙයක්. .ඒ තමන්ටත් නොදැනීම තමන්ගේ යටි හිත විසින් සිදු කරන ක්‍රියාවක්. 

යම් පුද්ගලයෙක් සමග තමන් විසින් පවත්වන දුරකථන සංවාද පටිගත කිරීම පිළිබඳව කතිකාවක් මේ වන විට සමාජයේ ඇති ව තිබෙනවා. සමහරුන් මෙය නීති විරෝධී බව පවසන අතර තවත් සමහරුන් පවසන්නේ එය සදාචාර විරෝධී බවයි,

කෙනෙකුට තමන් සමග යම් අයෙක් සිදුකරන දුරකථන සංවාදයක් අනෙක් පුද්ගලයාගේ අනු දැනුම නොමැතිව පටිගත කළ හැකි ද යන්න  අවධානයට යොමු විය යුතු කරුණක්. ඉලෙක්ට්‍රොනික මාධ්‍ය දියුණුවීමත් සමඟ සිය ජංගම දුරකතනයෙන් සිදුකරන කතාබහ පටිගත කිරීම සඳහා වන උපාංග සමහර දුරකථන වල ඇතුළත් කර තිබෙනවා. .එ විට එම දුරකථන සංවාදය පටිගත කරන්නේ දැයි දැන ගැනීමට අනෙක් පාර්ශවයට හැකි වන්නේ නැහැ. සිය දුරකථනය භාවිතා කර සිදු කරන සියළුම සංවාද පටිගත කරන ලෙස දුරකථනයට විධානයක් දී තිබුණහොත් එම සියලු සංවාද එවිට පටිගත වනවා.එවන් සංවාද පටිගත කිරීම නීති විරෝධී බවට ප්‍රකාශිත නීති අපේ රටේ නැහැ. යම් අයුරකින් එවන් නීති පැන වුව ද එය ක්‍රියාත්මක කිරීමේදී ගැටළු මතු වනවා .මෙහිදී සංවාද පටිගත කරන පුද්ගලයා පටිගත කරනු ලබන්නේ තමන් ද පාර්ශවයක් වන, තමන් සම්බන්ධ සංවාදයක්. එය පටිගත කර ගැනීමට ඔහුට හැකියාවක්  තියෙනවා.

දුරකථන සංවාදයට කිසිසේත්ම සම්බන්ධ නොවන තුන්වන පාර්ශ්වයක් විසින් අනවසරයෙන් එම පෞද්ගලික සාකච්ඡාව පටිගත කර ගන්නේ නම් එය වරදක්. එය එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් ප්‍රඥප්තියේ දොළොස් වන වගන්තිය උල්ලංඝනය කිරීමක් වනවා.

සාමාන්‍යයෙන් දුර කථනයෙන් සංවාද ඇති කරගන්නා ප්‍රධාන කොටස් තුනක් ඉන්නවා පලමු වැනි කොටස තමාගේ හිතවතුන් දෙවැනි කොටස තමන්  නාදුනන නමුත් යම් කිසි අවශ්‍යතාවයක් මත තොරතුරු ලබාගැනීමට හෝ රාජකාරිමය කටයුතු සඳහා කතා කරන අය. තුන්වන කොටස වන්නේ තමා ගේ සතුරන්.මේ  අතුරෙන් සිය මිතුරන් සමග සිදු කරන සංවාද අනෝන්‍ය කැමැත්ත මත නිදහසේ සිදුකරන සංවාදයන් වීම හේතුවෙන් එම සංවාද වෙනත් අයකුට අනාවරණය නොකරන්නේ නම්  ඒවා පටිගත කිරීම පිළිබඳ ගැටළුවක් මතු වන්නේ නැහැ. .එසේම රාජකාරිමය හෝ තොරතුරු ලබා ගැනීම සඳහා වන ඇමතුම් වලදී ආගන්තුකයෙකු සමග නීතියානුකූලව සාමාන්‍යයෙන් සිදු කරන කතාවක් පටිගත කිරීම තුළ ද  ගැටළුවක් මතු වන්නේ නැහැ. නමුත් තමන්ගේ සතුරන් හෝ තමන්ට තර්ජනය කරන, එසේත් නැත් නම් තමන් ලවා නීති නීති විරෝධී කටයුත්තක් කරවීමට උත්සාහ කරන පුද්ගලයන් ගේ සංවාද පටි ගත කර ගැනීම මගින් ඒවා නෛතික කටයුතු වලදී  සාක්ෂි ලෙස යොදා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සදහා 1995 අංක 14 දරණ සාක්ෂි( විශේෂ විධි විධාන) පනත මගින් ප්‍රතිපාදන සලසා තිබෙනවා. වෙනත් කිසිදු සාක්ෂියක් නොමැති නමුත් අදාළ නීති විරෝධී කරුණු සම්බන්ධව වන හඬ පට සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකි වීම නිසා වෙනත් කිසිදු සාක්ෂියක් නොමැති වීම හේතුවෙන් නීතිය ඉදිරියට පැමිණීමට නොහැකි වන බොහෝ වින්දිතයන්ට නීතියේ පිළිසරණ ලබා ගැනීමට හැකි වනවා.

අනෙක් අතට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 (1)වගන්තිය අනුව සහතික කොට ඇති මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ නිදහස අනුව යම් කිසි පුද්ගලයෙක් තවත් පුද්ගලයකු සමඟ දුරකතනයෙන් කතා කළ යුතු වන්නේ කවරක් ද යනුවෙන් නීති පැනවීමක් සිදු කළ නොහැකියි. විශේෂයෙන් මිතුරන් සමඟ සංවාදයේ යෙදීමේදී අනෝන්‍ය කැමැත්ත මත අසභ්‍ය දේ  පවා කතා බහ කර ගැනීමේ අයිතිය යම් පුද්ගලයෙක් සතුව පවතිනවා.නමුත් එවැන්නක් පටිගත කොට අනෙක් පුද්ගලයාගේ කැමැත්ත නොමැතිව ප්‍රචාරය කිරීම හෝ තුන්වැනි පාර්ශවයකට ලබා දීම අනෙක් පුද්ගලයාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වනවා.ඒ වගේම මෙවන් පටිගත කිරීමක් උපයෝගි  කරගෙන යම් තැනැත්තෙක් බිය ගන්නවා බලෙන් යමක් ලබා ගන්නේ නම් හෝ එසේ ලබා ගැනීමට උත්සාහ කරයි නම් එය නීති විරෝධී වන අතර ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ද දණ්ඩ නීති සංග්‍රහයේ 483 සහ 372 වගන්ති වල දක්වා තියෙනවා.

යම් පුද්ගලයෙක් සතුව ඇති තමන් විසින් පටිගත කළ එවන්  සංවාද ඇතුලත් දත්තයන් ඔහුගේ ජංගම දුරකථනයෙන් හෝ ඔහු සතුව ඇති සී ඩී පට වලින් අධිකරණ නියෝගයකින් හැර ඔහුගේ කැමැත්තෙන් තොරව යම් අයෙක් ලබා ගන්නේ නම් එය නීති විරෝධී පැහැරගැනීම වන අතර යම් අයුරකින් හිමිකරුට නොදන්නවා ඔහු ගේ පරිගණකයෙන් හෝ ජංගම දුරකතනයෙන් එවන් දත්තයන් ලබා ගැනීම 2007 අංක 24 දරන දරණ පරිගණක අපරාධ පනතේ 3 සහ 4 වගන්ති  යටතේ දඬුවම් ලැබිය හැකි අපරාධයක් ලෙස දක්වා තියෙනවා.

වර්තමානයේ රංජන් රාමනායක මහතා සතුව තිබූ බව පැවසෙන දුරකථන සංවාද ඇතුළත් හඬ පට විවිධ මාධ්‍යයන්  මගින් ප්‍රචාරය වීම හේතුවෙන් සමාජයේ විශාල කැලඹීමක්ඇති වී ඇති බව දක්නට ලැබෙනවා.රටේ ආරක්ෂාවට, ,මහ ජන ආරක්ෂාවට හෝ රටේ ආර්ථිකයට බල පාන යම් කරුණක්  හෝ කරුණු කිසියම් පරිඝණක ඇති බව ට තොරතුරු ලද හොත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත එම පරිගණක වලට ප්‍රවේශ ව අදාළ තොරතුරු ලබා ගැනීමට පොලිසියට හැකියාව තියෙනවා මේ අනුව තමා පසුගියදා පොලිසිය විසින් රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී සැක කටයුතු  හඬ පට රාශියක් සිය භාරයට ගනු ලැබුවේ.එම හඬ පට නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන නිසා එය තමා සන්තක යෙන් ලබා ගත් බවට රන්ජන් රාමනායක මහතාගේ අත්සන සහිතව මුද්‍රා තබා පොලිසිය විසින් සිය භාරයට ගෙන තියෙනවා ඉන්පසු එය එම මුද්‍රා සහිතවම අධිකරණයට ඉදිරිපත් කොට එම හඬ පට වල නිර්ව්‍යාජත්වය එනම් එම හඬ පට වල අඩංගු වන්නේ අදාළ පුද්ගලයන් ගේම කටහඬ ද යන්නත් එම හඬ පට යම් සංස්කරණයකට ලක් කොට ඇත්ද යන්න බවත් තීරණය කිරීම සඳහා රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට අධිකරණ නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු කරනවා. .එම භාණ්ඩ අත්අඩංගුවට ගත් මොහොතේ සිට මෙම අධිකරණ ක්‍රියාදාමයන් අවසන් වන තුරු එම හඬ පට අදාල මුද්‍රාවන් සහිත ව සුරක්ෂිතව තබා ගැනීම එනම් “භාර දාමය “(chain of custody)රැකීමට පොලිසිය බැඳී සිටිනවා .එසේ නොවුන හොත් එම හඬ පට සංස්කරණය කිරීමට හෝ වෙනත් හඬ පට එකතු කිරීමට හෝ අවස්ථාව ලැබෙන හෙයින් තව දුරටත් එම හඬ පට අධිකරණය ඉදිරියේ නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව නොමැති වෙනවා .පසුගිය දා අධිකරණයේදී ප්‍රකාශ වූ කරුණු අනුව පොලිසිය විසින් තමන් සතු ව ඇති හඬ පට වල “භාර දාමය “නිසි ලෙස පවත්වා ගෙන යන බව සනාථ කොට තිබෙනවා.

මින් පැහැදිලි වන්නේ මේ වන විට විවිධ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන හඬ පට එය ප්‍රචාරය සඳහා ලබා දෙන පුද්ගලයන් විසින් ලබා ගෙන ඇත්තේ  නිසි අවසරයකින් තොරව බවයි .එමෙන් ම තමන් විසින් මාධ්‍ය හරහා නිරාවරණය කරන එම හඬ පටවල අව්‍යාජත්වය ඔවුන් විසින් තහවුරු කර ගෙන ඇති බවක් පෙනෙන්නේත් නැහැ.

මෙසේ වගකීමකින් තොරව තමන් වෙත නීත්‍යානුකූල නොවන මගකින් ලැබුණු හඬ පට ජනමාධ්‍ය තුළට මුදා හැරීම මගින්, එම පුද්ගලයන් රටේ ආරක්ෂාවට, මහජන ආරක්ෂාවට සහ රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන පරිදි තම භාෂණයේ නිදහස භාවිතා කර ඇති බව දක්නට ලැබෙනවා.

සාපරාධී අපහාස නීතිය ඉවත් කොට ඇති නිසා මෙම හඬ පට ජනමාධ්‍ය තුළින් ප්‍රචාරය වීම වැලැක් වීමට නියෝග කිරීමට අධිකරණය ට හැකියාවක් නැහැ. නමුත් එම තහවුරු නො කළ හඬ පට ජනමාධ්‍ය තුළින් ප්‍රචාරය වීම නිසා රටේ ස්වාධින අධිකරණ පද්ධතියට සිදුව ඇති හානිය ඉතා විශාලයි .අධිකරණයේ විනිසුරුවන් කිහිප දෙනෙකුගේ ක්‍රියා කලාපයන් නිසා ජනතාව සමස්ත අධිකරණ පද්ධතිය ම කෙරෙහිතබා ඇති  විශ්වාසය ඒ මඟින් බිඳ වැටීමට ඉඩ තිබෙනවා. ඒ හේතුවෙන් රටේ ස්වාධීන අධිකරණයක් නොමැති බවට ජාත්‍යන්තරයෙන් පවා චෝදනා එල්ල විය හැකියි .එ විට ඒ බව උපයෝගී කරගෙන රට තුළ සිදුවන ක්‍රියාදාමයන් සඳහා ජාත්‍යන්තර අධිකරණය මැදිහත් වීම සාධාරණීකරණය කිරීමට ජාත්‍යන්තරයට හැකි වනවා. එය රටේ ආරක්ෂාවට තර්ජනයක් වනවා මෙන් ම විදෙස් ආයෝජන අධෛර්යමත් කරන කරුණක් වීම හේතුවෙන් ජාතික ආර්ථිකයටත් අයහපත් බලපෑමක් සිදු වනවා. එම නිසා මෙම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් වල 14 (1) ( ආ )මගින් ලබා දී ඇති භාෂණයේ නිදහස සීමා කොට ඇති ආණ්ඩුකුම ව්‍යවස්ථාව 15  වගන්තියෙන් දක්වා ඇති සීමාවන් ඉක්මවා යෑමත් වනවා.

ජන මාධ්‍ය මගින් ප්‍රචාරය කළ සමහර හඬ පට තුළින් යම් යම් ආගම් වලට අපහාසාත්මක වන කරුණු ඇතුළත් වන බව දක්නට ලැබුණා. එමගින් ආගමික වෛරය සඳහා පෙළඹවීම් ඇති වීමේ හැකියාව පවතිනවා.  එය ජනමාධ්‍ය තුළින් ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම මගින් එම ප්‍රචාරය කිරීම සඳහා දායක වූවන් ද 2007 අංක 56 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ( I.C.C.P.R) පනතේ 3 (2)(ආ)වගන්තිය උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනාවන්ට ලක් වීමේ  හැකියාව පවතිනවා.

දෙදෙනෙකු අතර ඇති වූ අතිශය පෞද්ගලික දුරකථන සංවාදයක් ඔවුන්ගේ අවසරයකින් තොරව මාධ්‍ය වෙත වෙනත් පුද්ගලයෙක් විසින් නිකුත් කළ හොත්  එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ දොළොස් වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් ..එසේ ම සිය කීර්තිනාමයට හානි කිරීමට එරෙහි ව දිලික්ත නීතිය යටතේ එම ක්‍රියාවට දායක වූ පුද්ගලයන්ට එරෙහි ව  නඩු පවරා අලාභ ලබා ගැනීමේ හැකියාවක් ද වින්දිතයන් ට පවතිනවා. මෙම සංවාද සමහරක් අතිශය පෞද්ගලික සහ සභාවක් ඉදිරියේ කිව නොහැකි සංවාද බව පෙනී යනවා.අන්‍යෝන්‍ය කැමැත්ත මත දෙදෙනෙකුට එවන් සංවාදයන් ප්‍රසිද්ධ නොකර පෞද්ගලිකව හෝ දුරකථන මගින් කිරීමට නීති මගින්  කිසිඳු තහනමක් යොදා නැහැ ඉන් ඔබ්බට ගොස් ශාරීරිකව සිදු කරන අනාචාරයන් පවා ශ්‍රී ලංකාවේ නීතියේ වරදක් ලෙස දක්වන්නෙ නැහැ ..මෙවන් සංවාදයන් ප්‍රසිද්ධ කිරීම මගින් ඒ ඒ පුද්ගලයාගේ පවුල් ජීවිතවලට ඉමහත් බලපෑමක් සිදුවෙනවා කෙසේ වෙතත් එවැනි සංවාද අයත් වන්නේ අසභ්‍ය සහ අශ්ලීල ප්‍රකාශන ගණයටයි එවන් හඬ පට විකාශනය කිරීම,බෙදා හැරීම, ප්‍රචාරය කිරීම හෝ ඒ සඳහා සන්තකයේ තබා  ගැනීමත් දණ්ඩ නීති සංග්‍රහයේ 285 සහ 286 වගන්ති යටතේ දඬුවම් කළ හැකි වරදක් කුඩා දරුවන්ට පවා ශ්‍රවණය කළ හැකි වන පරිදි මෙම සංවාදයන් අන්තර්ජාලයට එක් කරන ලද පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමත් එම සංවාදයන් වහාම අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සිදු විය යුත්තක්.

කෙසේ වෙතත් මෙම පෞද්ගලික සංවාද නොව රටේ අධිකරණයට සිදු කළ බලපෑම් සම්බන්ධව නිරාවරණය වී ඇති හඬ පට සංවාද මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 111(ඈ) වගන්තිය උල්ලංඝනය කිරීම පිළිබඳ ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නඩුවක් ගොනු වන ආකාරයක් පෙනී යනවා. එය ඉතා හොඳ ප්‍රවණතාවක් මෙන්ම නීතියේ ආධිපත්‍ය පෙන්නුම් කරන්නක් .නීතියේ ආධිපත්‍යය යනු තරාතිරම නොබලා සියලු දෙනාම නීතියට යටත් කිරීමයි..එය මෙම හඬපට සමාජගත කිරීමට දායක වූ සියලු දෙනාටත් පොදුවේ ක්‍රියාත්මක කළ යුතු දෙයක්.

 කිසියම් නඩු කටයුත්තක දී එය විභාග කරන විනිසුරුවරයාට එම නඩුව පිළිබඳව අත්තනෝමතික තීන්දු ලබාදීම සිදුකළ නොහැකි දෙයක්. මක්නිසාදයත් නඩුවේ තීන්දුව ලබා දීමේදී තමන් එම තීන්දුවට එළැඹී ආකාරය පිළිබඳව අදාළ නඩුවේ දී ඉදිරිපත් කරන ලද සාක්ෂි වල විශ්ලේෂණයක් මෙන්ම දෙපාර්ශවයෙන්  ඉදිරිපත් වූ නීති තර්ක පිළිබඳව විශ්ලේෂණයක් ද සමග හේතු දැක්වීමක් විනිසුරු වරයා විසින් කළ යුතු වීම අවශ්‍ය වෙනවා .එවිට ඔහු විසින් සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී සහ ඒ අනුව නීතිය යොදා ගෙන සිය තීරණය ලබා දීමේදී යම් කිසි වරදක් සිදු කර තිබේ නම් එයින් අගතියට පත්වන   තැනැත්තන්ට ඊට වඩා ඉහළ අධිකරණයකට අභියාචනය කිරීමේ අයිතිය තියෙනවා. මේ අනුව මුල් අවස්ථා අධිකරණයක තීරණයකට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමටත්, ඉන් ලැබෙන තීරණයෙන් ද තෘප්තිමත් නොවේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ද අභියාචනය කිරීමේ අයිතිය අගතියට පත් වූයේ යැයි පවසන පාර්ශ්වය සතු වෙනවා.ඉහළ අධිකරණ වල නඩු විසඳෙනු ලබන්නේ තනි පුද්ගල විනිසුරු වරයෙකු නොව විනිසුරු මඬුල්ලක් මඟිනි.එම අධිකරණවලදී ද උගත් නීතිඥ වරුන්ගේ ප්‍රබල නීති තර්ක සහ ඉදිරිපත්ව ඇති සාක්ෂි මැනවින් විශ්ලේෂණය කර ඒ අනුව හේතු දක්වා  සිය තීරණයන් ලබා දෙන හෙයින් එම සියලුම විනිසුරුවන්ට අයුතු බලපෑම් කිරීමක් ප්‍රායෝගිකව සිදු කළ හැකි දෙයක් නොවෙයි.එසේම බලපෑමක් සිදු කලත් නොකළත් සිදුවීම පිළිබඳව ඇති සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී සහ නීති තර්ක විශ්ලේෂණය කිරීමේදී එම පුද්ගලයා වරදකාරයා බව පැහැදිලිව සාධාරණ සැකයකින් තොර ව ඔප්පු වේ නම් එම වරද සදහා ඔහු වරදකරු කොට අදාල දඬුවම් නියම කිරීමට විනිසුරුවරයාට වගකීමක් තියෙනවා එ බැවින් හඬ පට මගින් ආන්දෝලනයට ලක්ව ඇති විනිසුරුවන් ලබාදී ඇති මුල් අවස්ථා අධිකරණ තීරණයක් ඉහළ අධිකරණ වලින් ද සනාථ වී තිබේ නම් එම මුල් අවස්ථා අධිකරණ තීරණ පිළිබඳ ව  කුකුසක් හෝ සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ .මේ අනුව ස්වාධීන අධිකරණයක් පිළිබඳව තිබෙන මහජන විශ්වාසය .බිඳ හෙළීමට මෙම හඬ පට යොදා ගැනීම සුදුසු වන්නේ නැහැ. 

ඒ සඳහා ජනමාධ්‍ය වල හැසිරීම ද  ඉතා වැදගත් වනවා. නඩුවක විමසුමකට ලක්වන කරුණක් පිළිබඳ විවිධ මතයන් හෝ ප්‍රකාශයන්  නොඑසේ නම් එම නඩුවට බලපෑමක් විය හැකි කිසිදු කරුණක් ප්‍රචාරය කිරීම අධිකරණයට බලපෑමක් කිරීමක් මෙන්ම අධිකරණයට අපහාස කිරීමක් ද විය හැකියි. කෙසේ වෙතත් ජනමාධ්‍යයට ලබා දී ඇති නිදහස වගකීම් සහිතව භාවිතා කිරීම ඉතා වැදගත් වෙනවා .කරුණු වාර්තා කිරීමේදී අධිකරණය වෙත මහජනතාව තබා ඇති විශ්වාසය පළුදු වන ආකාරයේ තොරතුරු සඳහා ස්වයං වාරණයක් භාවිතා කිරීම සමාජයේ යහපත සඳහා බෙහෙවින් දායක වන බව අවධාරණය කළ යුතු වෙනවා 

නීතිඥ වෛද්‍ය වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *