රියැදුරු බලපත් මුද්‍රණය හමුදාවෙන්.

රියදුරු බලපත්‍ර මුද්‍රණය අනිද්දා (01) සිට යුද හමුදාවේ සංඥා බළකාය මගින් සිදුකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්තුව මගින් පෞද්ගලික සමාගමකට ලබාදී තිබුණු බවත් ටෙන්ඩර් කාල සීමාව අවසන් වීමෙන් පසු නැවත ටෙන්ඩර් නොකැඳවා වසරින් වසර ගිවිසුම දීර්ඝ කරමින් එම සමාගම යටතේම අදාළ කටයුත්ත සිදුකර තිබෙන බවත් ඒ මහතා කීය.
මහනුවරදී අද (30) මාධ්‍ය හමුවක් කැඳවමින් අමුණුගම මහතා මේබව ප්‍රකාශ කළේය.
ටෙන්ඩර් කාල සීමාව අවසන් වීමෙන් පසු කළ යුත්තේ රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා නැවත ටෙන්ඩර් කැඳවීම වුවත් එය සිදු නොකර දිගින් දිගටම එකම සමාගමකට දීර්ඝ කිරීම් මගින් රියදුරු බලපත්‍ර මුද්‍රණයට අවසර දීම වරදක් බවද හෙතෙම අවධාරණය කළේය.
මාසයකට රියදුරු බලපත්‍ර 60000-90000 ත් අතර ප්‍රමාණයක් මුද්‍රණය කෙරෙන බවත් මේ නිසා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නවතා ටෙන්ඩර් කැඳවීමේ හැකියාවක් නොමැති බවත් කී ඇමැතිවරයා නැවත ටෙන්ඩර් කැඳවීමක් සිදුකරන තෙක් යුද හමුදාව මගින් එම කටයුත්ත සිදුකර ගන්නා බවද පැවසුවේය.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ටෙන්ඩර්ය ලබා ගන්නා සමාගම වාර්ෂිකව රුපියල් මිලියන ගණනක ආදායමක් උපයාගන්නා බවත් යුද හමුදාව මගින් අදාළ කටයුත්ත සිදු කිරීමේදී එම මුදල රජයට ඉතිරිකර ගැනීමට හැකිවන බවත් කී අමුණුගම මහතා නැවත ටෙන්ඩරයකට නොගොස් යුද හමුදාව මගින් අදාළ කටයුත්ත සිදුකිරීම සම්බන්ධවද අවධානය යොමුව ඇතැයි ප්‍රකාශ කළේය.
රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා වැයවන මුදල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දෙමින් ඉදිරියේදී බලපත්‍ර ගාස්තු අඩු කිරීමට හැකිවනු ඇතැයිද හෙතෙම කීය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *