රුවන් විජේවර්ධන හෙණ්ඩුව ඉල්ලයි

කඩාවැටී තිබෙන එජාපය යළි නගා සිටුවීම සඳහා එජාප නායකත්වය තමන් බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පවසයි. මහ මැතිවරණ පරාජය හොඳ අවස්ථාවක් කරගනිමින් පක්ෂය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරමින් පාක්ෂිකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට තමන් සතුව වැඩපිළිවෙළක් තිබෙන බවද ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ඊයේ (30) ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විජයවර්ධන මහතා මේබව ප්‍රකාශ කළේය. එජාප පාක්ෂිකයින්ට පසුගිය කාලයේ පක්ෂය තුළින් යම් යම් වැරදි අඩුපාඩු සිදුවූ බවත් මේ නිසා කළකිරීමට පත් පාක්ෂිකයින් පක්ෂයේ තනතුරු දරන සියලු දෙනාට පාඩමක් ඉගැන්වූ බවත් ඒ මහතා පැවසුවේය.

තමන් එජාප නායකත්වයට ඉදිරිපත් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව නොවන බවත් ඒ සඳහා ඉදිරිපත් වන පාක්ෂිකයින් ගෙන් තමන්ට ඉල්ලීම් ලැබුණු බවත් කී රුවන් විජයවර්ධන මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන සතියේ රැස්ව පක්ෂයේ අනාගතයත් පාක්ෂිකයින්ගේ හෙට දවසත් පිළිබඳ සිතා හොඳ තීරණයක් ගනු ඇතැයි විශ්වාස කරන බවද අවධාරණය කළේය. නායකත්වය සඳහා කිහිප දෙනෙකු ඉදිරිපත්ව සිටින බවත් සාකච්ඡාකර එකඟතාවකට පැමිණිය නොහැකි වුවහොත් ඡන්ද විමසීමකට යාමට සිදුවන බවත් හෙතෙම පැවසුවේය.

පක්ෂ නායකත්වයට පත්වීම පිණිස රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය අවශ්‍යය බවත් එතුමා ඥාතීත්වය සලකා තීන්දු තීරණ ගන්නා අයෙකු නොවන බවත් ඒ මහතා කීය.

එජාපයේ තරුණ ඡන්ද,බෞද්ධ ඡන්ද මෙන්ම සුළු ජන ඡන්ද පදනමද අඩුවී තිබෙන බවත් මේ සියලු දෙනා පක්ෂය වටා ගොනු කිරීමට නම් පැහැදිලි ප්‍රතිසංවිධානයක් පක්ෂය තුළ සිදුවිය යුතුව තිබෙන බවත් විජවර්ධන මහතා පැවසුවේය.

සජිත් ප්‍රේමදාස මහතා වෙනම පක්ෂයක් පිහිටුවා ගනිමින් දැන් පාර්ලිමේන්තුවටද පත්ව සිටින බැවින් ඔහුට එජාප නායකත්වය සඳහා ඉදිරිපත් විය නොහැකි බවත් ඒ සඳහා අවස්ථාව ඇත්තේ පක්ෂ සාමාජිකත්වය ඇති කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන අයෙකුට පමණක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *