ලිංගාභිෂේක ගන්වන මහා ශිවරාත්‍රිය

හින්දු ශිව භක්තිකයන්ගේ වැදගත්ම පූජෝත්සව දිනය ලෙස සැළකෙන මහා ශිවරාත්‍රී දිනය ශිව සහ ශක්ති දේවතාවිය හෙවත් පාර්වතිය හමුවීමද සිහිපත් කරයි. හින්දු කැලැන්ඩරයට අනුව සෑම මසකම 13 වැනිදාව හෝ 14 වැනිදාව ශිව රාත්‍රියකි.  එය “මස්කි ශිවරාත්‍රී” ලෙස හැඳින්වේ. හින්දු කැලැන්ඩරයට අනුව ෆල්ගුනා මාසයේ 13 වනදා හෝ 14 වෙනිදා එළඹෙන ශිව රාත්‍රී දිනය වසරකට වරක් සමරන මහා ශිව රාත්‍රී දිනයයි.  ෆල්ගුනා මාසයේ 14 වන දින හෙවත් අව පස සඳ උදාවන 13 වන දින සමරන මෙම උත්සවය නූතන ග්‍රෙගරියානු කැලැන්ඩරයට අනුව උදා වන්නේ පෙබරවාරි හෝ මාර්තු මාසයේය. කාශ්මීරයේ ශිව බැතිමතුන් මෙම රැය හර් රාත්‍රී හෝ හයිරාත් ලෙස හඳුන්වයි.

මහා ශිවරාත්‍රී පුරාවත

ස්කන්ධ පුරාණ, ලිංග පුරාණ, පද්ම පුරාණ වැනි හින්දු ආගමික ග්‍රන්ථ කිහිපයක මහා ශිව රාත්‍රී දිනයේ වැදගත්කම පිළිබඳ කරුණු පෙන්වා දී තිබේ.  ශිවරාත්‍රී දින ශිව ලිංග පූජා පැවැත්වීමේ හා නිරාහාරව සිටීමේ විශේෂත්වය හා වැදගත්කම ඇතුළු විවිධ පුරාවෘත්ත මෙම ග්‍රන්ථවල විස්තර කර තිබේ.  හින්දු දහමට අනුව මහා ශිවරාත්‍රිය ශිව දෙවිඳු නිර්මාණය, පැවැත්ම හා විනාශයේ දිව්‍යමය නර්තනය එළිදැක්වූ දිනයයි. තවත් පුරාවෘත්තයකට අනුව මේ ශිව හා පාර්වතී සම්භෝගයට එළඹි රාත්‍රියයි.  තවත් කතාවකට අනුව මේ විශේෂිත දිනයේ ශිව දෙවිඳු කිරි මුහුද මන්ථනයේදී මතු වූ හලාහළ විෂ පානය කළ අතර ඔහුගේ ගෙලෙහි නිල් පැහැයට හේතු වූයේ එයයි. මේ සිදුවීම නිසා ශිව නිල් ගෙලක් ඇත්තා හෙවත් නීලකන්ඨ නමින්ද හැඳින්වෙන්නට විය.  ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රදේශයේ ඇති නීලකාන්ථ මහා දේව් කෝවිල පිහිටා ඇත්තේ මේ සිදුවීම වූ ස්ථානයේ බව හින්දුන්ගේ විශ්වාසයයි.

ඉන්දියාවේ මහා ශිවරාත්‍රී උත්සව

Maha Shivaratri: Significance, Celebration & Rituals
මෘගිකුන්ද් හී නාග් සාධුවරයෙක් ශිව පූජාවේ

ඉන්දියාවේ ප්‍රධාන ජ්‍යොතීර්ලිංග ශිව දේවාල වන බරණැස් සහ සෝමනාථ මහා ශිවරාත්‍රී පූජාවන් සඳහා චිරප්‍රසිද්ධ ය. බටහිර බෙංගාලයේ ශිව භක්තිකයන් තාරකේශ්වර කෝවිල වන්දනා කරයි. ගුජරාටයේ මහා ශිවරාත්‍රී මේලාව පැවැත්වෙන්නේ ස්නානය ශුද්ධ යැයි සැළකෙන මෘගිකුන්ද් පිහිටා ඇති ජුනගාද් හී භව්නාත දෙවොලේය. පුරාණ මිතයන්ට අනුව මෘගිකුන්ද් හී ස්නානයට ශිව දෙවිඳු තෙමේ ම පැමිණියේ ය. පංජාබයේ හින්දූන් මෙදින ශෝභා යාත්‍රාව සංවිධානය කරයි.  මහා කාලශේවර කෝවිල ඉන්දියාවේ සුප්‍රසිද්ධ ශිව දෙවොලකි.  කාශ්මීරයේ හින්දූහු “හේරත්” නමින් මෙම දිනය සමරති. මහා ශිවරාත්‍රී සැමරුමට විශේෂයෙන් ප්‍රසිද්ධ තැනක් ලෙස හිමාචල් පළාතේ මන්දි ද සැළකිය හැකි වේ.  ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙලන්ගානා පළාත්බදව කම්බලපල්ලෛ ආසන්න මල්ලයගුත්ත, ගුන්දලකම්මකෝනා, පෙන්චලකෝනා, බයිරවකෝනා, උමාමහේෂ්වරම් වැනි ස්ථානවල ශිවරාත්‍රී පෙරහැර පැවැත් වේ.  තමිල්නාඩුවේ තිරුවන්නමලෛ හී අන්නමයෛාර් කෝවිලේද මහා ශිව රාත්‍රී පූජාව උත්කර්ශවත් ලෙස පැවැත්වේ.

මහා ශිව රාත්‍රී විරාත් විධි (නිරාහාර පූජා)

මහා ශිව රාත්‍රී විරාත් අභිචාර ආරම්භ වන්නේ ශිවරාත්‍රියට පෙර දිනයේ ය.  මහා ශිව රාත්‍රියට පෙර ත්‍රයෝධශි දිනයේ ශිව බැතිමතුන් ආහාර ගන්නේ ඒක් වේලක් පමණි. ශිව රාත්‍රි දිනයේ උදය පූජාවන් හමාර කළ පසුව  පූර්ණ දිනය නිරාහාරව සිටීම සමාදන් වන බවට සංකල්ප් හෙවත්  ප්‍රතිඥා දී ශිව දෙවිඳුන් වෙනුවෙන් පූර්ණ බැතිමත් බව පළ කරයි. ශිවරාත්‍රී උපවාසය දුෂ්කර වන අතර  බැතිමතුන්  ස්වයං අධිෂ්ඨානය ප්‍රකාශ කරමින් උපවාසය  ආරම්භයට පෙර  අවසානය දක්වා සාර්ථකත්වයට දෙවියන්ගේ ආශිර්වාදය අපේක්ෂා කරයි.  බැතිමතුන්ට එදින පූජාවන් නිවසේ සිටම සිදු කරන්නට හෝ කෝවිලක් වෙත යන්නට පුලුවන. සාමාන්‍යයෙන් දහවල් කාලයේ කෝවිල් වෙත යන ඉන්දියානු ජනයා රැයෙහි නිවසේදී ශිව පූජා පවත්වති.

පූජාව පවත්වන ස්ථානය ශිව ලිංගය අසළයි. පූජා පැවැත්වීම සඳහා ආටා පිටියෙන් හෝ මැටියෙන් ශිව ලිංගයක් තනා ගැනීම කළ හැකිය. ශිව ලිංගය තනාගත් පසුව අභිෂේක පූජා පවත්වනු ලබයි.  ඒ් ලිංගය කිරි, රෝස වතුර, සඳුන් පල්ප, යෝගට්, පැණි, ගිතෙල්, සීනි සහ ජලයෙන් නහවමින් සිදු කරන්නකි. බෙලි කොළවලින් තැනූ මාලයක් ලිංගය වටා පළඳවා සඳුන් සහ කුංකුම තවරා සුවඳ දුම් අල්වනු ලැබේ.  ලිගංයට මල් පිදීමද විභූති ආලේප කිරීමද සිදු කරනු ලැබේ. ශිව ලිිංග පූජා අවසානයේ වේද මන්ත්‍ර ජප කරමින් ශිවගේ ආශිර්වාදය ඉල්ලීම සිදු කරයි.

ලසන්ත ද සිල්වා

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *