ලොව මවිත කළ සෝවියට් විද්‍යාව හා අධ්‍යාපනය

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

1917 ඔක්තෝබර් විප්ලවය හරහා බිහිවූ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය, වසර 74කට පසුව 1991 දෙසැම්බරයේදී මෙලොවින් සමුගත්තේය. මේ වන විට සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳ වැටී වසර 28කටත් වැඩි කාලයක් ගතවී ඇතත්, ඒ පිළිබඳ කෙරෙන කතාබහ තවම නිම වී නැත්තේය. “සෝවියට් දේශයට මොකද උනේ?˜ “ඒ සනිටුහන් කෙරුණේ ජගත් සමාජවාදී ව්‍යාපාරයේ අවසානයද?˜ “එසේත් නැතිනම්, ඒ බිඳ වැටුණේ සමාජවාදයේ විකෘතිමය ස්වරූපයක්ද?˜ “සෝවියට් දේශයේ මළගමට පාර කැපුවේ එම සමාජය තුළ ඔඩු දුවා තිබුණු නිලධාරිවාදයද?˜ යන මැයින් වූ ප්‍රශ්න වැළක් හරහා මතුවන සංවාදයන් තවම නිම වී නැත්තේය. 

මේ අතර, නව කොරෝනා වසංගතයට ලෝකයේ විවිධ රටවල් මුහුණ දුන් ආකාරය දෙස බලනා විට, සෝවියට් සමාජය තුළ පැවති ඇතැම් ගුණාංග අදටත් කෙතරම් වලංගුද යන ප්‍රශ්නය මතුව එන්නේය. පොදු ජනතාවගේ සුබසෙත සලසන මහජන සෞඛ්‍ය සේවාවක ඇති වැදගත්කම, කොවිඩ්-19 වෛරසය විසින් නැවත වතාවක් ලෝකයාට මතක් කර දුන්නේය. නව කොරෝනා වසංගතය මානව සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම දැඩි සෘණාත්මක බලපෑමක් ඇති කරන ලද අතර, ඒ අතරින් අධ්‍යාපනය මුල් තැනට එන්නේය. විද්‍යාත්මක පර්යේෂණ හා තාක්ෂණික ක්ෂේත්‍රද ඊට නොදෙවෙනි වන්නේය. සෝවියට් සමූහාණ්ඩු සංගමය ඉතා කෙටි කාලයක් තුළ විද්‍යාව, තාක්ෂණය හා අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල දැවැන්ත ජයග්‍රගණ ලැබූ ආකාරය දෙස යළි හැරී බැලීම, කාලීන වශයෙන් සුවිශේෂී වැදගත්කමක් ඇතැයි අප අවධාරණය කරන්නේ එම පසුබිම තුළය.

                       විප්ලවයට පෙර රුසියාව නූගත් වැඩවසම් රාජ්‍යයකි

යට කී පරිදි, සෝවියට් සමූහාණ්ඩු සංගමය බිඳ වැටීමෙන් පසුව, සෝවියට් සමාජයේ ගුණ-අගුණ පිළිබඳව විවිධ කතාබහ මතුවූ අතර, කවදත් සෝවියට් දේශයට විරුද්ධ වූ හා එම සමාජ ක්‍රමය දැඩි ලෙස විවේචනය කළ උදවිය සෝවියට් සමූහාණ්ඩු සංගමයේ අවසානයත් සමග උදම් අනන්නට පටන් ගත්හ. අනෙක් අතට, මාක්ස්වාදී හා සමාජවාදී මතවාද වෙනුවෙන් පෙනී සිටි උදවිය අතර සෝවියට් සංගමයේ බිඳ වැටීම මහත් කම්පනයක් ඇති කළේය. මේ බිඳ වැටුණේ සැබෑ සමාජවාදී සමාජයක් නොව එහි විකෘතියක් යැයි ඇතමෙක් තර්ක කරන්නට පටන් ගත්හ. කෙසේ වුවද, මෙම සංවාදය තුළ, දශක හතක් තරම් වූ කෙටි කාලයකදී සෝවියට් දේශය ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණ අවතක්සේරුවට ලක්කිරීමට ඇතමුන් උත්සාහ දැරීම කනගාටුවට කරුණක් වන්නේය. 1917 වන විට, අතිශය පසුගාමී, අර්ධ වැඩවසම් හා නූගත් රටක් ලෙස පැවති රුසියාව, සෝවියට් පාලනය යටතේ වසර හැත්තෑ හතරක් තරම් වූ කෙටි කාලයකදී ලෝක මහා බලවතෙකු පත්වෙමින් පෙන්වූ හාස්කම අවතක්සේරුවට ලක්කිරීම කනගාටුවට කරුණක් වන්නේය. 1917 වන විට රුසියාව පැවතියේ නොදියුණු අර්ධ වැඩවසම් රාජ්‍යයක් ලෙසටය. ඒ වන විට මිලියන 150ක් පමණ වූ රුසියානු ජනගහනයෙන් කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරතව සිටියේ මිලියන 4කටත් අඩු පිරිසකි. ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණයත්  සමඟින් දැවැන්ත කාර්මික සංවර්ධන වැඩපිළිවෙලක් දියත් කළ සෝවියට් දේශය වසර පහක් ඇතුළත දළ ජාතික නිෂ්පාදනය 9 ගුණයකින් වැඩි කිරීමට සමත් වූයේය. දෙවෙනි ලෝක යුද සමයේදී (1941-45) මුළු රටම බරපතල විනාශයකට ලක්වුවද, 1970 දශකය උදාවන විට ලෝකයේ සෙසු සියලූ රටවල් අභිබවා යමින් ප්‍රබලතම කාර්මික රටක් බවට පත්වීමට සෝවියට් දේශය සමත් වූයේය. කාර්මික නිෂ්පාදන රාශියක ලොව අංක එකේ නිෂ්පාදකයා බවට පත්වීමට සෝවියට් දේශය සමත් වූයේය. මෙම කාලය තුළ සෝවියට් දේශය ලැබූ ජයග්‍රහණ කාර්මික ක්ෂේත්‍රයට පමණක් සීමා නොවුණු අතර, අධ්‍යාපනය, විද්‍යාව, ක්‍රීඩාව, කලාව වැනි සියලූ ක්ෂේත්‍රවල ලොව ප්‍රමුඛස්ථානයට පත්වීමට සෝවියට් දේශයට හැකි විය. දශකයකට ටිකක් වැඩි කාලයක් සෝවියට් විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ අපට ඒ සියලූ ජයග්‍රහණ සියැසින් දැකගැනීමේ අවස්ථාව හිමි වූ අතර, ඒ අතුරින් සෝවියට් අධ්‍යාපන ක්‍රමය ගැන මෙන්ම විද්‍යාත්මක ජයග්‍රහණ පිළිබඳව ද පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකි විය.

ගුරු ගීතය කතුවරයා උස්බෙක් ජාතිකයෙකි

1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසුව ළදරු සෝවියට් රාජ්‍යය මුලින්ම අත ගැසූ කටයුත්තක් වූයේ නූගත්කම තුරන් කරලීමය. සාර් රජවරුන්ගේ පාලනය යටතේ පැවති රුසියාවේ, 1897 වන විට, අකුරු කියවීමට හා ලිවීමට හැකි ප්‍රමාණය (සාක්ෂරතාවය) මුළු ජනගහනයෙන් 28.4% ක් තරම් වූ අඩු මට්ටමක පැවතියේය. වැඩිහිටි අධ්‍යාපන වැඩසටහන්, සාක්ෂරතා ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු පුළුල් ක්‍රියාමාර්ග රාශියක ප්‍රතිඵලයක් ලෙස, වසර විස්සක් ඇතුළත (එනම් 1937 වන විට) රටේ සාක්ෂරතාවය 75% ක් දක්වා වැඩි කිරීමට සෝවියට් සංගමය සමත් වූයේය. 1970 දශකය ආරම්භ වන විට සෝවියට් දේශයේ සාක්ෂරතාවය 99%ක් තරම් වූ ප්‍රශස්ත මට්ටමකට ළඟා වූයේය. මානව ඉතිහාසය තුළ වෙනත් කිසිදු රටක් හෝ ජාතියක් නූගත්කම තුරන් කරලීමේ ක්‍රියාදාමයේදී මෙබඳු හපන්කමක් පෙන්වා නැත්තේය. මෙය සැබැවින්ම පුදුම සහගත ජයග්‍රහණයක් වන්නේය. සෝවියට් දේශය මේ සා සුවිසල් ජයග්‍රහණයක් අත්කර ගත්තේ උගත්කම අතින් ඉතා නොදියුණු මට්ටමක පැවති මධ්‍යම ආසියාතික රටවල්ද සමඟ බව අමතක නොකළ යුතුය. මධ්‍යම ආසියාවේ සහ සයිබීරියාව ඇතුළු උතුරුකරයේ ජීවත් වූ සමහර ජනකොටස් මුළුමනින්ම පාහේ අකුරු කියවීමට හා ලිවීමට නොදත් අය වූහ. ඇතැම් ජනකොටස්වලට ලිඛිත භාෂාවක් හෝ අකුරු හෝඩියක් තිබුණේද නැත. ලාංකික පාඨකයන්ද හොඳින් හඳුනන චිංගීස් අයිත්මාතොව් නමැති ශ්‍රේෂ්ඨ සෝවියට් ලේඛකයාගේ මාතෘභූමිය වන උස්ඛෙකිස්තානය මීට කදිම උදාහරණයක් වන්නේය. විප්ලවයට පෙරාතුව උස්ඛෙකිස්තානයේ සාක්ෂරතාවය 2%ක් තරම් වූ ඉතා පහළ මට්ටමක පැවති අතර, උස්ඛෙක් ජාතික ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් හෝ විද්‍යාඥයන් ගැන අසා තිබුණේවත් නැත. එහෙත්, 70 දශකය ආරම්භ වන විට උස්ඛෙකිස්තානයේ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන 32ක් ස්ථාපිත වී තිබුණු අතර, සාක්ෂරතාවය 95%ක් දක්වා වර්ධනය වී තිබුණේය. වර්ෂ 1913 දී, උස්ඛෙකිස්තානය සතුව තිබුණු මුද්‍රිත පොත් ප්‍රමාණය 118,000ක් වූ අතර, 1970 වන විට එම ගණන මිලියන 19ක් දක්වා වැඩි වී තිබුණේය. මෙයාකාරයට, ඉතා කෙටි කාලයක් තුළ පූර්ණ සාක්ෂරතාවයක් ළඟා කරගනිමින් විස්මිත ජයග්‍රහණයක් අත්කර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ, ළදරු අවදියේදී සෝවියට් දරුවන්ට ස්වකීය මව් භාෂාවෙන් ඉගෙනීමේ ඉඩප්‍රස්තා ලබාදීමේ ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කිරීමය.

                    ලෙනින් ජාතිය අමතමින්

සාක්ෂරතාවය නැංවීමට සමගාමීව, ගුණාත්මකභාවයෙන් ඉහළ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමද, සෝවියට් දේශය මුල සිටම අත ගැසූ තවත් වැදගත් කටයුත්තක් වූයේය. 1920 ඔක්තෝබර් 2 වන දා පැවති තරුණ කොමියුනිස්ට් ලීගයේ තුන්වැනි සමුළුව අමතමින්, සෝවියට් නායක වී. අයි. ලෙනින් මෙසේ පැවසුවේය     “අපට උරුමව ඇති පැරණි සමාජ ක්‍රමය වෙනුවට නව සමාජයක්, කොමියුනිස්ට් සමාජයක් ගොඩනැගීම සඳහා අප විසින් කළ යුතු පළමු කාර්යය වන්නේ, මෙතෙක් පැවති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමයි. අපේ තරුණයන්ට ලබාදෙන අධ්‍යාපනය හා පුහුණුව රැඩිකල් වෙනසකට ලක්කිරීමයි. ඊට නව මුහුණුවරක් ලබාදීමයි. ˜කිසිදු ජාති හා ආගම් භේදයකින් තොරව හැම කෙනෙකුටම නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සැලසීම සෝවියට් අධ්‍යාපන ක්‍රමයේ මූලික ප්‍රතිපත්තිය වූයේය. අනිවාර්ය ද්විතීයික අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව සහතික කිරීම, පාසල් ඇතුළු සියලූ අධ්‍යාපන ආයතන රජයට අයත් පොදු දේපළ ලෙස පවත්වා ගෙනයාම, පෙර පාසලේ සිට පශ්චාත් උපාධිය දක්වා කිසිදු ගාස්තුවක් අය නොකිරීම, සෝවියට් සමූහාණ්ඩු සංගමය පුරාවට සියලූ අධ්‍යාපන ආයතනවල මධ්‍යගත විෂයය නිර්දේශයක් ක්‍රියාත්මක කිරීම, සැමටම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයයන් හැදෑරීම අනිවාර්ය කිරීම යනාදී වශයෙන් වූ අධ්‍යාපන ප්‍රතිපත්ති රැසක්ම සෝවියට් දේශය අකුරටම පිළිපැද්දේය. අධ්‍යාපන සැලසුම්කරණය පිළිබඳවද සෝවියට් අධ්‍යාපන ක්‍රමයෙන් සෙසු ලෝකයාට උගත හැකි පාඩම් බොහෝය. කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන අධ්‍යාපන සංවර්ධන සැලසුම් හරහා, දශක දෙක තුනක් තුළ සෝවියට් අධ්‍යාපනය ලැබූ දියුණුව, සෝවියට් දේශය සමස්තයක් ලෙස ලැබූ දියුණුව සෙසු ලෝකයා පුදුමයට පත්කරවන තරමට ප්‍රබල වූයේය. පුළුල් වූයේය. වරක් සෝවියට් දේශයට ගිය ඉන්දියානු මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් මෙසේ ලියා ඇත්තේය “සෝවියට් අධ්‍යාපන ක්‍රමයේ දියුණුවට ප්‍රධාන හේතුව වී ඇත්තේ එය සැබෑ ජීවිතය මත පදනම් වීමයි. අධ්‍යාපනය හා සැබෑ ජීවිතය අතර හිඩැසක් නොතිබිය යුතු බව මගේ විශ්වාසයයි. ඉගෙනීම ජීවිතයෙන් දුරස් වූ විට, එය කිසිදු ප්‍රයෝජනයක් නොමැති නිෂ්ඵල ආයෝජනයක් බවට පත්වෙයි. ˜ පොදුවේ ගත්කළ සෝවියට් අධ්‍යාපන ක්‍රමය සෙසු රටවල පරිද්දෙන්ම, පෙර පාසල්, ප්‍රාථමික, ද්විතීයික, වෘත්තීය, තාක්ෂණික සහ උසස් අධ්‍යාපනය යන අංගවලින් සමන්විත වූයේය. මීට අමතරව, සෝවියට් අධ්‍යාපන ක්‍රමයෙහි දක්නට ලැබුණු සුවිශේෂී ලක්ෂණයක් වූයේ, තෝරාගත් විෂයයන් සඳහා වෙන්කෙරුණු, “විශේෂිත පාසල්˜ නමින් හඳුන්වනු ලැබූ පාසල් වර්ගයක් ද්විතීයික අධ්‍යාපන ක්‍රමය තුළ ක්‍රියාත්මක වීමය. එනම්, යම් විෂයක් කෙරෙහි විශේෂ දක්ෂතා හා ඇල්මක් දක්වන දරුවන් (8 වැනි ශ්‍රේණියේදී) තෝරාගෙන ඔවුන්ව “විශේෂිත පාසල්˜ කරා යොමු කරවීමේ ක්‍රමවේදයක් සෝවියට් දේශය තුළ ක්‍රියාත්මක වූයේය. මෙම විශේෂිත පාසල්, ගණිත පාසල්, භෞතික විද්‍යා පාසල්, රසායන විද්‍යා පාසල්, සංගීත පාසල්, චිත්‍ර පාසල් යනාදී වශයෙන් නම්කොට තිබුණු අතර, ඒවායෙහි විෂයය නිර්දේශයද තරමක් වෙනස් වූයේය. එම විදුහල්වල අවසන් වසර දෙක තුනේදී තෝරාගත් විෂයයට වැඩි බරක් යෙදවුණු අතර, එම දරුවන් තෝරාගත් විෂයය තුළින්ම උසස් අධ්‍යාපනය සඳහාද යොමු කරවනු ලැබීය.

සෝවියට් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවේ තවත් වැදගත් පියවරක් වූයේ, පාසල් අධ්‍යාපනය තුළ ගණිතය, විද්‍යාව හා තාක්ෂණික විෂයයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමය. සෝවියට් සමාජය විසින් විද්‍යා හා තාක්ෂණ විප්ලවයේ අභියෝග ජයගැනීමට නම් ගණිත හා තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ වූ තරුණ පරපුරක් අවශ්‍ය බවට, සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව 1966දී විශේෂ යෝජනාවක් සම්මත කරගනු ලැබුවේය. විද්‍යා, ගණිත හා තාක්ෂණ අධ්‍යාපනය නංවාලීම සඳහා සෝවියට් විද්‍යා ඇකඩමියේ සාමාජිකත්වය දරන විද්‍යාඥයන් කිහිප දෙනෙකුගෙන් විශේෂ කමිටුවක් පත්කෙරුණු අතර, මනෝ විද්‍යාත්මක පසුබිමක් පදනම් කරගෙන ගණිතය හා විද්‍යාව ඉගැන්වීමේ ක්‍රමවේද පිළිබඳ පුළුල් පර්යේෂණ පවත්වනු ලැබීය. 1960-80 දශක දෙක තුළ ගණිත ක්ෂේත්‍රයේ ලොව නව සොයාගැනීම්වලින් 80% කට වැඩි ප්‍රමාණයකට හිමිකම් කීමට සෝවියට් ගණිතඥයන්ට හැකි වූයේ එවන් පසුබිමක් තුළය. 1950 සිට 1980 දක්වා වූ කාලය සෝවියට් විද්‍යාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අතර, 80 දශකය ආරම්භ වන විට සෝවියට් දේශයේ සිටි විද්‍යාඥයන්ගේ ගණන, ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ජපානය සහ ජර්මනිය යන රටවල සිටි විද්‍යාඥයන්ගේ එකතුවට වඩා වැඩි බව වාර්තා වූයේය. 80 දශකය වන විට අභ්‍යවකාශ තාක්ෂණය අතින් සෝවියට් දේශය ඇමෙරිකාවද ඇතුළුව බටහිර රටවල් අභිභවා වසර 15කින් පමණ ඉදිරියෙන් සිටියේය. ඒ අවධියේ, බටහිර බලවතුන්ට ස්වකීය ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීම සඳහා සෝවියට් තාක්ෂණය භාවිත කිරීමට සිදුවීමෙන් ඒ බව සනාථ වන්නේය. එපමණක් නොව, 1957-61 කාලය තුළ සෝවියට් අභ්‍යවකාශ ගවේෂණ ලැබූ ජයග්‍රහණ මුළු ලොවම මවිත කරවන අන්දමේ ඒවා විය. 1957දී පළමු චන්ද්‍රිකාව (ස්පුට්නික් 1), 1957දී පළමු ජීවියා (ලයිකා නම් බැල්ල), 1961දී පළමු මිනිසා (යූරි ගගාරින්), 1963දී පළමු කාන්තාව (වැලන්තීනා තෙරස්කෝවා) අභ්‍යවකාශගත කරමින් සෝවියට් දේශය මුළු ලොවම මවිත කළේය. අපගේ අදහස අනුව නම්, මෙයාකාරයට 1970-80 දශකයන් වන විට විද්‍යාව හා තාක්ෂණය අතින් ජයකෙහෙළි නංවන්නට සෝවියට් දේශයට හැකි වූයේ, 1917 විප්ලවයෙන් පසුව ක්‍රමානුකූලව දියත් කෙරුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසාවෙනි.

සෝවියට් දේශය ලෝකයේ බිමෙන් හයෙන් එකක් විය

කෙසේ වුවද, සෝවියට් අධ්‍යාපන රටාව හුදෙක් විද්‍යාව හා තාක්ෂණය පැත්තට පමණක් බරවූ එකක් ලෙස වරදවා වටහා නොගත යුතුය. පූර්ණ මිනිසෙකු ගොඩනගන්නට නම් තාක්ෂණික විෂයයන්ට අමතරව මානව ශාස්ත්‍ර විෂයයන්ද උගත යුතු බව සෝවියට් අධ්‍යාපන බලධාරීන් තරයේ පිළිගත් සංකල්පයක් වූයේය. අප මොස්කව් නුවර ලූමුම්බා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අවධියේ, කවර විෂයයක් යටතේ උපාධිය හදාරනු ලැබූවද, ඉතිහාසය, දේශපාලන ආර්ථීක විද්‍යාව හා දර්ශනය යන විෂයයන් ඉගෙනීම අනිවාර්ය කොට තිබුණේය. උපාධියට සුදුසුකම් ලැබීම සඳහා මෙම විෂයයන් සමත්වීම අනිවාර්ය කොට තිබුණේය. ඉංජිනේරු, වෛද්‍ය ඇතුළු ස්වභාවික විද්‍යා විෂයයන් හැදෑරූ අපේ සමහර සොහොයුරන්ට මෙම විෂයයන් තරමක හිසරදයක් වී තිබුණද, කවදත් සමාජ විද්‍යා විෂයයන්ට ඇල්මක් දැක්වූ අපි ඉතිහාසය, දේශපාලන ආර්ථීක විද්‍යාව හා දර්ශනය ඉතා ආසාවෙන් උගත්තෙමු. එකී විෂයයන් හරහා අප ලැබූ දැනුම හා පන්නරය අදටත් අපේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී ප්‍රයෝජනවත් වන්නේය. වසර 74ක සෝවියට් පාලනය කිසිදු අඩුපාඩුවකින් තොර වූ සර්ව සම්පූර්ණ එකක් වූයේ යැයි අපි නොකියන්නෙමු. සෝවියට් දේශයේ ගත කළ වසර එකොළහක කාලය තුළ ඒ සමාජයේ පැවති අඩුපාඩු අපි කොතෙකුත් දුටුවෙමු. එහෙත් ඒ හේතුවෙන්, සෝවියට් දේශය අත්පත් කරගත් විස්මිත ජයග්‍රහණ අවතක්සේරු කළ නොහැකිය. අවතක්සේරු නොකළ යුතුය. මෙම ලිපියෙන් අප පෙන්වා දෙන්නට උත්සාහ කළේ, සෝවියට් දේශයේ ක්‍රියාත්මක වූ අධ්‍යාපන ක්‍රමයෙන් සෙසු ලෝකයාට උගත හැකි පාඩම් රැසක් ඇති බවය. පශ්චාත් කොරෝනා ලෝකයට සෝවියට් අධ්‍යාපන ක්‍රමයෙන් උගත හැකි පාඩම් රැසක් ඇති බවය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *