වතුකරයට කුකුළා හඬලනු නිසැකයි – ජීවන් තොණ්ඩමාන්

ජනතාවට සේවය කිරීමට අවශ්‍යය පළපුරුද්දට වඩා හොඳ හිත බවත් තම පියා නිතර එය තමන්ට පෙන්වා දුන් බවත් ජීවන් තොණ්ඩමන් මහතා පවසයි. දිනපතා හිරු නැගෙන්නාසේ අලුයම කුකුළා හඬලනු නිසැක බවත් පියාගේ අපේක්ෂා ඉටු කිරීමට තමන් උපරිමයෙන් කැපවන බවත් ඒ මහතා කීය. අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදුකෙරුණු අවස්ථාවේ කතාවක් කරමින් ජීවන් තොණ්ඩමන් මහතා මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය.කොරොනා වෛරසය පැතිර යාමේ අවධානම නිසා පියාගේ අවසන් කටයුතු අපි බලාපොරොත්තු වූ ආකාරයට සිදුකිරිමට හැකි වුණේ නැහැ.ඔහුට අවසන් ගෞරව දැක්වීමට සියලුදෙනාට අවස්ථාව ලබාදීමට නොහැකිවීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා.ඊට වඩා රටේ ආරක්ෂාව සහ සෞඛ්‍යය තත්ත්වය අපට වැදගත්.මගේ පියත් මේ වැඩපිළිවෙළට කැමති ඇති.කොවිඩ්-19 වෛසරය පැතිර යාමේ අවධානම පහව ගියාට පසු ඔබ සියලු දෙනා බලාපොරොත්තුවූ අකාරයට පියාට පින් අනුමෝදනම් කරමින් පිං කමක් කරන්න අපි සැලසුම්කර තිබෙනවා.

මාගේ පියා වතුකරයේ සංවර්ධනය පිළිබදව ගොඩක් සිහින දුටු අයෙක්.ඒ සියලුම සිහින ඉටු කරන්න අපි හිතාගෙන ඉන්නවා.වතුකරයේ අධයාපනයට මුල් තැන දෙමින් ඔහු කටයුතු කළා.නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාලයක් ඇති කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාකර තිබුණා.ඇමතිතුමා අපිට පොරොන්දු වෙලා තියෙනවා පියා වෙනුවෙන් වතුකරයට විශ්ව විද්‍යාලයක් ලබා දෙනවා කියලා.ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදි කරමින් පවතින වතු නිවාස යෝජනා ක්‍රමය පොකුරු ගම්මානයක් බවට පත් කරන්නත් එතුමා අපේක්ෂා කළා.අපේ ජනතාව රටේ අනෙකුත් ප්‍රදේශවල ජිවත් වන ජනතාව මෙන් ජිවත් කරවීම තමයි එතුමාගේ අපේක්ෂාව වුණේ.එහෙම හිතාගෙන හිටපු මගේ පියා එම අරමුණු ඉටුකරන්න කලින් අප අතරින් සමුගත්තා.මිය යන්නට ප්‍රථම වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරලා ගෙදරට ඇවිල්ලා ඔහු බොහෝම සතුටින් ගෙදර හිටියා.මමයි පියයි විතරයි එදා ගෙදර හිටියේ.අපි සිනාසෙමින් තමයි කතාකරමින් ඉන්නවිට,එක්වරම ඔහු ජීවන් කියලා මට කතා කළා. මම හැරිලා බලනකොට එයා ලොකු හුස්මක් ගත්ත බවක් මට තේරුණා.මගේ පියාගේ දැස්වල ලොකු බියක් ඇතිවෙලා තියෙනවා කියලා මට හිතුණා.මම මගේ ජනතාව අතඇරලා යනවා කියලා එයාට හිතෙන්න ඇති.මට කරගන්න දෙයක් තිබුණේ නැහැ.රෝහල වෙත රැගෙන යනවිටත් පියා මිය ගිහින්.

තාත්තා මරණයට පත්වෙන්න දින දෙකකට කලින් මම සෙන්දිල් තොණ්ඩමන් අයියා එක්ක තාත්තා කතා කර කර හිටියා.අපි උදෙන්ම නැගිටින්නේ නැතිබව කියා අපි දෙන්නටම තාත්තා බැන්නා.අවුරුදු 26දී මගේ පියා මට අහිමි වන බව දන්නව නම් මම නිදි යන්නේ නැතුවම ඉන්නවා. දැන් එ ගැන හිතලා වැඩක් නැහැ.මාව ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ සංවිධානයේ මහ ලේකම් බවට පියා විසින් පත්කරන කොට මම කිව්වා මට මේ තනතුර දරන්න පළපුරුද්දක් නැහැ කියලා.එතකොට එයා  කිව්වේ ජනතාවට වැඩ කරන්න පළපුරුද්දට වඩා ඕන හොඳ හිත කියලයි.තාත්තාගේ බලාපොරොත්තු ඉටු කරන්න කැපවන බවට මම පොරොන්දු වෙනවා.ලංකා කම්කරු කොංග්‍රසය ඉදිරියට ගෙනයාම මගේ එකම බලාපොරොත්තුවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *