වතුකරයේ ඡන්ද ගැටුම් – කඳුරට ජනතා පෙරමුණත් හවුල්

මෙවර මහ මැතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ වදින සමඟි ජනබලවේගයේ සහ ස්වාධීන කණ්ඩායමක ආධාරකරුවන් දෙපිරිසක් අතර ආගරපතන ග්ලාස්කෝ වතුයායේදී ඇතිවූ ගැටුමකට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු ආගරපතන පොලීසිය විසින් ඊයේ (14) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සමඟි ජනබලවේගය හා එක්ව මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟ වදින කඳුරට ජනතා පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් හා ස්වාධීනව තරඟ කරන අනුෂා චන්ද්‍රසේකරන් මහත්මියගේ ආධාරකරුවන් පිරිසක් අතර මෙම ගැටුම ඇතිව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

ගැටුම CCTV දර්ශන

කඳුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ පී.චන්ද්‍රසේකරන් මහතාගේ දියණිය වන අනුෂා චන්ද්‍රසේකරන් මහත්මියට එම පක්ෂය මගින් සමඟි ජනබලවේගය යටතේ තරඟ කිරීමට නාම යෝජනා නොලැබීම නිසා ඇය ස්වාධීන කණ්ඩායමක් යටතේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියි. කඳුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ පී.චන්ද්‍රසේකරන් මහතාගේ අභාවයෙන් පසු එම පක්ෂයේ නායකත්වය වී.රාධක්‍රිෂණන් මහතාට හිමි විය. චන්ද්‍රසේකරන් මහතාගේ දියණිය වන අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය මෙවර මහ මැතිවරණයට කඳුරට ජනතා පෙරමුණ යටතේ නාම යෝජනා ඉල්ලා සිටියත් ඇයට එම අවස්ථාව නොලැඹීම නිසා ස්වාධීනව තරඟ කරන ඇය තම පියාගේ සහ කඳුරට ජනතා පෙරමුණේ ධජය මැතිවරණ ව්‍යාපාරයට යොදාගෙන ඇත. චන්ද්‍රසේකරන් මහතාගේ ඡායාරූපය සහ කඳුරට ජනතා පෙරමුණේ ධජය යොදාගෙන එලෙස ආගරපතන ග්ලාස්කෝ වතුයායේ මැතිවරණ ප්‍රචාරන කටයුතු වල නිරතව සිටියදී කඳුරට ජනතා පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ඊට විරෝධය දැක්වීම නිසා මෙම ගැටුම ඇතිව තිබේ. මේ සම්බන්ධව අනූෂා චන්ද්‍රසේකරන් මහත්මිය ආගරපතන පොලීසියට පැමිණිල්ලක් කර ඇත. ගැටුමට සම්බන්ධ බවට සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා නුවරඑළිය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ප්‍රබෝධ ජයසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.

දෙපාර්ශවය අතර අතිවූ ගැටුමෙන් තුවාල ලත් කඳුරට ජනතා පෙරමුණේ ආධාරකරුවෙකු  නුවරඑළිය රෝහලට ඇතුළත්කර කිරීමෙන් පසු පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ආගරපතන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *