වතු නිල නිවසට ගල් ගැසීමට කම්කරු කොංග්‍රස් භාණ්ඩාගාරිකත් හවුල්

වතු අධිකාරිවරයාගේ බිරිද තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබා දිය යුතු ගරුත්වය දුන්නේ නෑ – මන්ත්‍රී මරුදපාණ්ඩි

නිල නිවසට පොලිස් ආරක්ෂාව යොදවයි

මන්ත්‍රී මරදපාණ්ඩි සිද්ධීය වූ ස්ථානයේ සිටින අයුරු

නුවරඑළිය කඳපොළ පාර්ක් වතුයායේ වතු අධිකාරිවරයාට සහ ඔහුගේ බිරිදට දුරකතනයෙන් බැන තර්ජනය කිරීමෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් උඩු පුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් ඔවුන්ගේ නිල නිවසට ගොස් අලාභ හානි සිදුකළ බව කියන  සිද්ධියක් සම්බන්ධයෙන් කඳපොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මන්ත්‍රීවරයා සමඟ නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපති වේලුයෝග රාජ් මහතා එම වතුයායේ වතු කම්කරුවන් විශාල පිරිසක්ද එක් කර ගනිමින් පසුගිය 17  දින පස්වරුවේ වතු අධිකාරිවරයාගේ නිල නිවසට පැමිණ කලහකාරි ලෙස හැසිරෙමින් නිල නිවසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ බව පැමිණිල්ල මගින් ප්‍රකාශකර තිබේ.

නිල නිවස වටලා සිටින ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිස

මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා ඇතුළු පිරිස වතු අධිකාරිවරයාගේ නිල නිවසට යනවිට වතු අධිකාරිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවසින් බැහැරව සිට ඇත. කඳපොළ පාර්ක් වතුයායේ නිවාස 306 ක් ඉදි කිරීම සදහා රමේෂ්වරන් මන්ත්‍රිවරයා එක් නිවසක් සඳහා පර්චස් 10 බැගින් සරුසාර තේ වගා ඉඩම්  ලබාදෙන ලෙස දුරකතන මගින් ඉල්ලීමක් තර තිබේ.තේ වතු ඉඩම් ඉදි කිරීම් කටයුතු වලට ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තිබෙන බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස වතු අධිකාරි අජිත් පිරිස් මහතා එම අවස්ථාවේ දැනුම් දී ඇත. වතු අධිකාරිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන්  උරණ වූ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස වතු අධිකාරිවරයාගේ නිල නිවසට ගොස් කලහකාරි ලෙස හැසිරිණු බව දැන ගන්නට තිබේ.

වතු නිල නිවසේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය හා කදපොළ සහ අවට පොලිස් ස්ථාන කිහිපයක නිලධාරින් යොදවා ඇත. කඳපොළ ප්‍රදේශයේ තේ ඉඩම් විශාල  ප්‍රමාණයක් මේ වන විටත් වතු කම්කරුවන් සහ පිටස්තර පුද්ගලයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එළවළු වගා ව්‍යාපාර සිදු කරන බවත්  කඳපොළ ප්‍රදේශයේ පර්චසයක් රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනාකමක්  ඇති බවත් එම සමාගමේ විධායක නිලධාරියෙකු පැවසීය. නිවාස 306 ක් එකවර ඉදි කිරිමට තේ වත්තේ ඉඩම් ලබා දීමෙන් වතු කම්කරුවන්ට දෛනික වැඩ කටයුතු ලබාදිමද ගැටලුවක් වන බව ඒ මහතා කීය.

වතු නිල නිවසට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත.

වර්ෂ 2017 දී  කඳපොළ පාර්ක් වතුයායේ ඉදිකළ වතු නිවාස ගණනාවක ඉදිකිරීම් කටයුතු මේ වන විට අතරමග නතර කර තිබෙන බවත් එම ඉදි කිරිම් යළි ආරම්භ කර ඉන්දියානු රජයේ අධාර යටතේ තවත් නිවාස 50ක් ඉදි කිරිමට එම වතුයායේ තේ වගා නොකළ ඉඩම් වලින් එක් නිවසකට පර්චස් 10 බැගින් ලබාදිමට හැකියාව ඇති බවත් වතු අධිකාරිවරයා මන්ත්‍රීවරයාට දැනුම් දී තිබෙන බව විධායක නිලධාරීවරයා පැවසුවේය. රජයේ තේ වතු ඉඩම් 99 අවුරුදු බදු පදනම යටතේ රජය විසින් වතු සමාගම් ගණනාවකට ලබා දි ඇති බවත් එසේ ලබාගත් තේ වතු ඉඩම් වලට මේ වන විට විවිධ පුද්ගලයින් අයථා ලෙස ඇතුළුවී ඒවා අත්පත් කරගෙන ඉදි කිරිම් ගණනාවක් සිදුකර ඇති බවත් හෙතෙම කීවේය.

පාක් වතුයායේ වතු අධිකාරිවරයාට දුරකතන ඇමතුමක් තමන් විසින් ලබාගත් බවත් එහිදි ඉන්දියානු රජය යටතේ වතු නිවාස 306 ක් එකවර ඉදි කිරිමට තම වතුයායෙන් ඉඩම්  ලබා දීමට නොහැකි බව පවසා ඔහු දුරකථනය විසන්ධි කල බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මරඳපාණ්ඩි රමේෂ්වරන් මහතා අප කළ විමසීමකදී පැවසුවේය. යළිත් ඇමතුමක් ලබාගන්නා අවස්ථාවේ වතු අධිකාරිවරයාගේ බිරිඳ දුරකථනයට සම්බන්ධවූ  බවත් එහිදි වතු අධිකාරිවරයාගේ බිරිද තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබා දිය යුතු ගරුත්වය නොදී ඉතා අශෝභන ලෙස කතා කළ බවත් ඒ මහතා කීය.

ඒ බව දැනගත් නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු වතු කම්කරුවන් පිරිසක් වතු අධිකාරිවරයාගේ නිල නිවස වටලා කලහකාරි ලෙස හැසිරුණු අවස්ථාවේ එය පාලනය කිරිමට තමන් එම වතු යායට ගිය බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ආරුමුගන් තොණ්ඩමන් මහතා ජිවතුන් අතර සිටි කාලයේ ඉන්දියානු රජය යටතේ වතු නිවාස 306 ක් ඉදි කිරිම සඳහා ඉඩම් ලබා දිමට එකඟ වූ එම වතුයායේ අධිකාරිවරයා වර්තමානයේ නිවාස 50 ක් පමණක් ඉදි කිරිමට අවස්ථාව ලබාදෙන බවට පැවසිම අසාධාරණ බවත්  පවත්නා තත්ත්වය මත නිවාස 56 ක් පමණක් අලුතින් ඉදි කිරිමට අවශ්‍යය සැළසුම් මේ වන විට සකස් කරමින් තිබෙන බවත් මන්ත්‍රීවරයා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *