වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දිය යුතුයි – හිටපු ඇමති දිගම්බරම්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමක් සමග එක්ව සංවර්ධනය කිරිම තමන් හොඳ දෙයක් ලෙස සලකන බවත් ඒ සදහා තම පුර්ණ සහයෝගය ලබාදෙන බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ජාතික කම්කරු සංගමය සහ කම්කරු ජාතික පෙරමුණේ සමාජිකයන් හමුවිමේ රැස්වීමක් හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදී ඊයේ (30) පැවැති අවස්ථාවේදීය.

තමන් පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරයෙකු ලෙස සිටියදීත් මේ ආකාර ආයෝජන රටට ලැබෙන වැඩපිළිවෙළ සඳහා උපරිම සහය ලබාදුන් බවත් අදත් එම මතයේ සිටිමින් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට විදේශ රටක ආයෝජකයෙකුගේ සහය ගැනීම තමන් අනුමත කරන බවත් දිගම්බරම් මහතා කීය.

යහපාලන ආණ්ඩුව මෙවැනි හවුල් ව්‍යාපාර සිදුකරන විට පොහොට්ටුවේ අය එදා වරාය,ඉඩම්,ගුවන්තොටුපොළ  විකුණනවා කියා  චෝදනා කළ බවත් අද ඔවුන් බලයට පැමිණ එයම කරන බවත් කී ඒ මහතා තමන් ඒ ආකාර පටු දේශපාලනයේ නිරත නොවන බවද පැවැසුවේය.

රටේ ජාතික සම්පත් විදේශිකයින්ට විකුණනවාට කිසිවෙකුත් කැමැති නැති බවත් ආයෝජකයින් මගින් වරාය සංවර්ධනය කිරීම සහ විකිණීම යනු එකක් නොව දෙකක් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අද රටේ සල්ලි නැති බවත් ණය බර වැඩිවී තිබෙන බවත් කී ඒ මහතා අයෝජකයින් පැමිණ නැගෙනහිර ජැටිය සංවර්ධනය කර ඉන් ලැබෙන ලාභයෙන් 51% ක් අපේ රටට ලැබෙන්නේ නම් ඒ ගැන සතුටු විය යුතු බවද අවධාරණය කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *