වළඳෙන් ලිපට වැටුණු දෙහිගොල්ලේ වළං තනන්නෝ

වසරකට එක් කාල සීමාවක් තුළදී පමණක් තම නිෂ්පාදන වලින් විශාල ආදායමක් ලබා ගැනීමට තිබූ අවස්ථාව කොවිඩ් වසංගතය නිසා මෙවර අහිමිවී ගිය බව මහියංගණ දෙහිගොල්ල, 46, කණුව, කොටසේ විසිතුරු මැටි බඳුන් කර්මාන්තයේ නියැලෙන පවුල් 26ක ජනතාව පවසති. තම මැටි වළං කර්මාන්තයට වසර පුරා එකම අන්දමේ ඉල්ලුමක් නොපවතින බවත්, සෑම වසරකම මාර්තු මස විසිවන (20) දින සිට සිංහල අළුත් අවුරුද්ද උදාවන අප්‍රේල් මස දහතුන්(13)වෙනි දින දක්වා පමණක් ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඔවුහු පවසති.

සෑම වසරකම සිංහල අවුරුද්ද සහ වෙසක් පොහොය නිමිති කරගෙන තම නිෂ්පාදන මාර්තු මස විසි වන දින වන විට සකසා නිම කිරීමට මැටි වළං කර්මාන්තකරුවෝ කටයුතු කරති. මේ සදහා ඔවුන් මාස ගණනාවක සිට සූදානම් වෙති. එහිදී සුදුසු පස් සොයා ගෙන කැපීම ඒවා තම නිවෙස් වෙත ප්‍රවාහනය කර ගැනීම ආදිය සඳහා විශාල මුදලක් වැය කිරීමට ඔවුනට සිදු වේ. පස් කැපීම සහ ප්‍රවාහනය සදහා බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත යුතුය. සැකසූ මැටි භාජන පුළුස්සා ගැනීම සඳහා දර අවශ්‍ය වන අතර ඒ සඳහාද බලපත්‍ර ලබා ගතයුතුය. මේ සියලු වියදම් සදහා වළං තනන ජනයා බැංකු ණය පහසුකම් ලබා ගනිති. මෙවරද බලාපොරොත්තු සහිතව ණය ලබා ගෙන මැටි භාජන නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කළ මොවුන්ගේ සිහින බිඳ වැටුනේ නොසිතූ අයුරිනි.

විකුණාගත නොහැකි වූ වළං

මාර්තු 10 වෙනි දින රටේ ක්‍රියාකාරීත්වය ඇණ හිටීමෙන් වළං නිෂ්පාදකයින්ටද අත්වුණේ නරක කළ දසාවකි. සියළු නිෂ්පාදන සඳහා ආධාර වන සකපෝරුවට නිවාඩුවක් ලැබී ඇත. මැටි පදම් කරන දෙපා වලටද විරාමයක් ලැබී ඇත. අපේක්ෂා සහගතව නිමැවුනු මැටි භාජන වලින් කොටසක්  නිෂ්පාදනාගාරවලම (වළං හදන මඩුවලම) තැන් තැන් වල හා පෝරණු තුළම දක්නට  ඇත. පදම්කිරීමට ගෙන ආ පස් කඳු අව්වට වියැළෙමින්, වැස්සට තෙමෙමින් තැන් තැන්වල ගල් ගැසී සේදී ගොස් ඇත.

දෙහිගොල්ල ගම්මානයේ වළං කර්මාන්තයේ නියැලෙන ශිල්පියෙකු වන ඩබ්ලිව්.ඩී.ධර්මසේන “හැම අවුරුද්දකම මාර්තු මාසෙ විසිවනදා වන විට අපි අපේ මැටි භාජන හදලා ඉවර කරනවා. හදපු භාණ්ඩ තොගය ගබඩා කරලා තියනවා. අපිට වාහන නැති නිසා කුලියට වාහනයක් අරන් සති පොළවල් ගානේ අරන් ගිහින් විකුණා ගන්නවා. ඒකෙන් අපට හොඳ ආදායමක් ලැබුණා. අපි නිතර යන එන සති පොළවල් ගාව කඩ කාමර අරන් ඒවායේ අපේ භාජන ස්ටෝක් කරනවා. නිතරම වාහන වලට කුලී ගෙවන්න අමාරු නිසා.” යනුවෙන් සිය අත්දැකීම විස්තර කළේය. “ඒත් මෙදා සැරේ අපට කර කියා ගන්න දෙයක් නැති වුනා.හදිසියේම ඇතිවුනු මේ කොරෝනා වසංගතේ නිසා. මාර්තු 10 වෙනිදායින් පස්සේ අපේ භාජන කිසි දෙයක් හරි හැටියට විකුණා ගන්න නැහැ.අපේ බඩු දාපු දාපු තැන් වල. කඩකාමර අරන් දාපු බඩු අයින් කර ගන්න කියලා කඩ හිමියෝ කියනවා.නැතිනම් කුලිය ඉල්ලනවා. මේ කොරෝනාවක් හින්දා රටම අප්‍රාණික වුනානේ.” යැයි ඔහු පවසයි.

“අපේ ලොකුම බලාපොරොත්තුව සිංහල අවුරුද්ද, අනේ ඒකත් නැතිවුනානේ. සිංහල අවුරුද්දට දුප්පත් පොහොසත් භේදයක් නැතිව  හැම ගෙදරකටම නැවුම් හට්ටි, මුට්ටි ගෙනියන්නේ අවුරුදු නැකතට කිරි උතුරවලා අළුත් මුට්ටියක කිරි බතක් උයන්නයි. අවුරුද්දට කළින් ඇඳිර් නීතිය අයින් කරපු වෙලේ අපි මහඔය පොළට ගියා.පොළ තිබ්බේ නෑ . ඒ වුණත් වෙළෙන්දෝ තමන් ගෙනාපු බඩු පාරවල් අයිනේ තියාගෙන විකිණුවා.එළවලු ඇතුලු අත්‍යවශ්‍ය දේවල් වලට තමයි ඉඩ ලැබුනේ.රෙදි පිළි වගේ ඒවාටත් ලොකු ඉඩක් දුන්නේ නෑ. අපේ  වළං අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගණයට අයිති නෑ කියලා පොලිසියෙන් අපිට යන්න  කීවා. අපේ බඩු ගෙයින් ගෙට ගෙනිහින් අළෙවි කරන්නත්  ඇඳිරි නීති බලපත්‍ර ගත්තේ නැහැ. අපේ භාජන අත්‍යාවශ දේවල් නෙවෙයිලු. බලපත්‍ර ගත්තත් පොලිසි යන්න කෝ අපට වාහන.” යනුවෙන් සිය දුක පවසන උදවියද එහි වෙති.

“සාමාන්‍යයෙන් අවුරුදු කාලෙදි අපේ මැටි භාජන විකුණලා අපට රුපියල් ලක්ෂ හතර හමාරක් පහක් විතර සොයා ගන්න පුලුවන්. මෙදා සැරේ අපිට රුපියල් හාර දහස් පන්සියයකවත් භාජන ටිකක් අළෙවි කර ගන්න බැරි වුනා. අපි කාටවත්ම අතපාලා ජීවත් වුනේ නැහැ. අපේ මහන්සියෙන් හරි හම්බ කරලා ජීවත් වුනේ. දැන් අපේ එකම බලාපොරොත්තුව මේ හදපු භාජන ටික විකුණලා බැංකුවෙන් ගත්තු ණය ටික ගෙවලා දාන විදියක් ගැනයි. රජය මැදිහත් වුණොත් අපට ලොකු දෙයක්” යැයිද බොහෝ දෙන පැවසීය.

මෙම ගම්මානයේ පදිංචි මැටි කර්මාන්තයේ නියැලෙන ඩබ්ලිව්.ඩී. දමයන්ති වැන්දඹු කාන්තාවකි. “මගේ මහත්තයා නැතිවුණ දා ඉඳලා මම මේ කර්මාන්තයේ යෙදෙනවා. අපි මැටි භාජන හදලා තමයි ජීවත් වුණේ. මම තවත් අක්කා කෙනෙක් එක්ක වළං හදනවා. ‍මෙදා සැරේ අපේ හීන ඔක්කොම බොඳ වෙලා ගියා. අපේ ගමේ ළමයි ඉගෙන ගත්තේ, විශ්ව විද්‍යාලවල ගියේ මේ කර්මාන්තයෙන් ලැබුණු ආදායමෙන් තමයි. මේවා හදන්න අපි ලොකු මහන්සියක් ගන්නවා.පස් කපලා පිටින් ගේන්න ඕන. බැකෝවලින් තමයි කපන්නේ. ට්‍රැක්ටර් වලින් ගේන්න ඕන. ඒවාට හරි වියදම්. අපි ණය වෙලා මේවා කරන්නේ. කොරෝනා කියපු දවසේ ඉඳලා අපිට කිසි දෙයක් කර ගන්න වුනේ නැහැ. අපි හදපු ඒවා තිබ්බ තිබ්බ තැන්වල . ආණ්ඩුවෙන් දුන්න සහන මුදල ලැබුණා. ඒක අපට ලොකු හයියක් වුණා. ඒත් අපේ මැටි භාජන විකුණාගෙන තිබුනා නම් අපි ඒ මුදල ගන්නේ නැහැ. එළවලු ගොවියාගේ එළවලු ටික රජය ගත්තා, වී ගොවියාගේ වී ටික රජයට ගත්තා. ඒ වගේ අපි හදපු අපේ මැටි භාජන ටික විකුණාගන්න විදියක් රජයෙන් හදලා දුන්නානම් හොඳයි. අපි වග කිව යුත්තන්ගෙන් ඉල්ලන්නෙත් ඒකයි”. ඇය අප හට  එසේ පැවසුවාය.

සකපෝරුවට නිවාඩු ලැබී ඇත

මෙම මැටි බඳුන් නිපදවන කර්මාන්තකරුවන්ගේ සමිතියේ සභාපති එස්.බී.ඩී.පී.ඩී.දයානන්ද, “ඇඳිරිනීතිය නිසා අපට කොහේවත් යන්න බැරි වුනා.හදපු බඩු ඔක්කොම ගබඩා වල, අහස උසට ණය වෙලා. මැටි හදා ගන්න පස් කපන්න පර්මිට ඕන. හැමදාම ගේන්නත් බැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න ඕන. ඒවා ගන්න ගියාමත් එක එක කතන්දර. හදපු භාජන පුච්චන්න දරත් එපැයි. දර ගෙනාවොත් බලපත්‍ර නැත්නම් පොලීසියෙන් අල්ලනවා. පොලීසි උසාවි ගානෙ රස්තියාදු වෙලා දඩ ගෙවලා එනවා. මේ ඔක්කෝම විඳගෙන අපි මැටි කර්මාන්තයේ යෙදෙනවා. අලුත් අවුරුද්දට හැළි වළං වගේම වෙසක් පෝය වෙනුවෙන් පහන් හදනවා. පහන් තොග වශයෙන් වෙනමම හදන අයත් ඉන්නවා. එයාලා වෙන භාජන හදන්නේ නැහැ .ගිය අවුරුද්දෙත් ඔවුන්ට ටිකක් බලපෑවා සහරාන්ගේ ප්‍රහාරය නිසා. මෙදා සැරේ පෝයට හැමෝම ගෙවල් වලටම කොටු වුණා. ඒ නිසා පහන් ටික විකුණා ගන්න බැරි වුනා. ඒවා එහෙමම තියෙනවා. කවදා හරි දවසක් එයි. එතකොට වෙන්න ඕන දේවල් වෙලා තියෙයි ගත්ත ණය කොහොමද ගෙවන්නේ. ණය ගෙවන්න කල් දුන්නත් ගෙවන්න ආදායමක් එපැයි. මේවා හැමදාම විකිණෙන්නේ නැහැනේ.  එහෙන් රෑ හත අට වෙනකොට අලි ගම් වදිනවා. කෑමට වී හොයාගෙන ගෙවල් වලට හොඬ දානවා. අමාරුවෙන් රැකගෙන ඉන්න වළං ටික පොඩි පට්ටම් කරලා දායි කියලා බයයි. ඒ වගේම තමයි අපේ ජීවිතත් කොයි වෙලාවේ අලියට පෑගෙයිද කියලා බයයි.” යනුවෙන් පවසයි.

මැටි පදම් කළ තැන්වලමය

“බොහොම මෑත කාලේ වැළඳුණ හේතුවක් නොදන්නා මාරාන්තික වකුගඩු රෝගයට හේතුවක්ලු ඇලුමිනියම් භාජන . තවම හරියට හේතුවක් හොයා ගෙන  නැහැ. කොහොම වුනත් වකුගඩු ලෙඩ්ඩුන්ට කියලා ගුරුලේත්තු හදාගෙන යනවා. මැටි වළඳේ හදන කෑම ගන්න එක වකුගඩු ලෙඩුන්ට හොඳලු. මේ ඇලුමිනියම් නිසා අපේ රටේ මැටි කර්මාන්තයට කණ කොකා හැඬුවා. අපිට රජයෙන් දුන්න සහන මුදල ලැබුණා. රජය කියලා කොච්චර කාලයක් මෙහෙම දෙන්නද? අපි බළධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ මේ නිෂ්පාදන ටික විකුණා ගන්න කව්රුහරි මැදිහත් වෙන්න කියලයි. අඩු තරමේ ණය ටික පියවා ගන්නවත් සහනයක් ලැබෙයිනේ”. යනුවෙන් ඔවුන් පැවසුවේ සිය නිෂ්පාදනවල අගය විදහා දක්වමින්. මේ වන විට මොවුන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින්නේ තමන්ගේ භාජන සකස් කිරීම සඳහා වුනු ණය තුරුස් පියවා ගැනීමට නොහැකිවයි. වෙනත් භාණ්ඩ මෙන්  මෙම මැටි භාජන නිතර අළෙවි වන භාජන නොවේ. බලධාරීන් මැදිහත් වුවහොත් මෙම මැටි භාජන අළෙවි කර ගැනීම එතරම් අපහසුවක් නොවේ. ඒ මඟින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමද කළ හැකියි.

චාමින්ද බුලත්සිංහල

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *