විදුලි බිල වැඩිකරන සූදානමක් ගැන අනතුරු හැඟවේ.

ලබන වසර වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ  සමස්ත පාඩුව රුපියල් බිලියන 500 දක්වා ඉහළ යන බැවින් එම පාඩුව මකා ගැනීමට ඇති එකම විසඳුම විදුලි ගාස්තු ඉහල නැංවීම නිසා ලබන වසරේදී සිදුවන විදුලි ගාස්තු වැඩීවීම ඒකකයට රුපියල් 50/= ක් පමණ වනු ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව මාසයක වියදම විදුලිබිල ඒ්කක 30 කට පාලනය කරන  පවුලක විදුලි බිල රුපියල් 1500කින් ද ඒකක 90 පාවිච්චි කරන සාමාන්‍ය පවුලක විදුලි බිල රුපියල් 5000කින් ද ඉහල දැමීමක් සිදුවනු ඇති බව එම නිවේදනයේ දැක් වේ.

අනවශ්‍ය අවස්ථාවලදී අසාධාරණ හා දුෂිත ගනුදෙනු හරහා විදුලිය මිලදී ගැනීම නිසා මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 300ට ආසන්න වෙමින් පවතී. මේ පාඩුවලට හේතු වී ඇත්තේ ටෙන්ඩර්වලින් තොරව කෙටිකාලීනව අධික මිලට විදුලිය මිලදී ගැනීමයි. පසුගිය කාලයේදී සෑම වසරකදීම මෙගා වොට් 400කට ආසන්න මෙගා වොට් ප්‍රමාණයක විදුලිය මෙලෙස අධික මිලට මිලදී ගෙන ඇත. එම සමාගම්වලින් විදුලිය මිලදී ගැනීමේදී ඒකකයට රුපියල් 35/= සිට 65= දක්වා වු අධික මිලක් ගෙවා ඇත්තේ ඒකකය රුපියල් 15/= ක් වු අඩු මිලකට විදුලිය නිපදවා ගැනීමේ හැකියාව තිබියදීය. මෙම විදුලිය මිලදී ගැනීමේ ගනුදෙනු දූෂිත හා නීති විරෝධි බව පෙන්වා ඒවාට අවසරය ලබා දීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. මේ වන විට ඉදිරි වසරේ සිට තවත් මෙගා වොට් 700 ක් පමණ කෙටිකාලීන පදනම මත ටෙන්ඩර් වලින් මිලදී ගැනීම සදහා ලංවිම සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සුදානම් වෙමින් සිටී. එම දුෂිත විදුලි ගනුදෙනු සිදුවුවහොත් රටට සිදුවන පාඩුව වසරකට රුපියල් බිලියන 175 කට ආසන්න වේ.

“මෙතෙක් දුෂිත විදුලි ගනුදෙනු හා අසාධාරණ විදුලි ගාස්තු ඉහල දැමීමට විරුද්ධ වී විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කලේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. විදුලි මාෆියාවට ඇති ඒකම බාධකය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව බව ඔවුන් තේරුම් ගෙන ඇත. විටෙක මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ බලය කප්පාදු කිරීමට තැත් දැරූ විදුලි උගුල් අටවන්නන් දැන් සැරසෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දමා හිතු මිලට විදුලිය මිලදී ගැනීමටත් හීතු විටෙක විදුලි ගාස්තු ඉහළ දැමීමටත්ය. කූඨ ව්‍යාපාරිකයින්, වංක නිලධාරීන් හා ඉංජිනේරුවන් අතලොස්සක් හා සටකපට දේශපාලනඥයින් දෙතුන් දෙනෙක්ගෙන් සැදුම් ලත් විදුලි
උගුල් අටවන්නන්ගේ සංගමයේ නව අනුශාසක ධුරයට ජනාධිපති ලේකම් වරයා පත් වී ඇති බව ඔහු විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට කළ නියෝගය පෙන්වා දෙයි. විදුලි ගාස්තු වැඩකිරීමකදී විදුලිය මිලදී ගත්තේ කීයටද යන්න දැන ගැනීමට විදුලි පාරිභෝගිකයාට අයිතියක් තිබේ. සිදුවන සියළුම විදුලි ගනුදෙනු වල තොරතුරු විදුලි පාරිභෝගිකයාට ලැබිය යුතු ය. විදුලි ගාස්තු වැඩිකිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයාට අදහස්  හා යෝජනා ඉදිරිපත් කිරීමටද අවස්ථාවක් තිබිය යුතු ය. අසාධාරණ විදුලිය මිලදී ගැනීම් වලට එරෙහි වීමටද විදුලි පාරිභෝගිකයාට අයිතියක් තිබිය යුතු ය. විදුලි පාරිභෝගකයා සතු මේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. එපමණක් නොව විදුලිය පිළිබද පැමිණිල්ලකදී විදුලි සේවාව
සම්බන්ධයෙන් තමන්ට අසාධාරණයක් වු විටදී ඒ සදහා සාධාරණය ඉටු කරගැනීමට යෑමට ඇති එකම ස්ථානය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි.” යනුවෙන්ද සිය මාධ්‍ය නිවේදනයෙහි දක්වන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටින්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරක්ෂා කරන ලෙසයි.

සංස්කාරක

Related post

1 Comment

  • You have mentioned very interesting details ! ps nice site. Ange Danya Kris

Leave a Reply

Your email address will not be published. Required fields are marked *