විදුලි සැරට සද්ධන්තයෙක් බිලි වෙයි
චාමින්ද බුලත්සිංහල – ගිරාඳුරුකෝට්ටේ
වගා බිම් වෙත වන අලින්ගේ පැමිණිම වැලැක්වීම සඳහා නීති විරෝධිව ඇද තිබූ විදුලි රැහැනක පැටළුණු වන අලියෙකු ඊයේ රාත්‍රියේ (27 වන දින) විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇත.
ගිරාඳුරුකෝට්ටේ,තෙල්දෙණියාය,ලොග්ගල්ඔය කොටසේ වැවිපිටිය රක්ෂිත කොටසට යාබද වගා බිමක් ආසන්නයේ මෙසේ මෙම වන අලියා මිය ගොස් ඇත. වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරාඳුරුකෝට්ටේ අලි පාලන ඒකකයේ නිළධාරීන් පවසන අන්දමට මෙම වන අලියාගේ වයස අවුරුදු විසි පහක් පමණවේ. උසින් අඩි අටකට ආසන්නවේ.

මිය ගිය වන අලියාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය වන ජීවී පශු වෛද්‍ය අකලංක පිණිදිය මහතා විසින් පවත්වන ලද අතර, විදුලි සැර වැදීම නිසා ඇතිවූ කම්පනයෙන් මෙම වන අලියා මිය ගොස් ඇති බවට නිගමනය කරන ලදී.
මේ අතර මෙලෙස විදුලි රැහැන් ඇදීම පිළිබඳව සැක පිට ලොග්ගල්ලාඔය කොටසේ පදිංචි 56 වියැති දෙදරු පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහිංගණ දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව අලි පාලන ඒකකයේ ඩී.එම්.එස්.සංජය මහතා පැවසීය.