විමලවීර විකිණෙන්නෙ නෑ.

දේශපාලන ප්‍රතිවාදීන්ගේ වුවමනාවට ඇතැම් වෙබ් අඩවි කුමක් වාර්තා කළත් තමන් දිනවූ දිගාමඩුල්ලේ අහිංසක ජනයා හැර නොයන බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි. අප වෙබ් අඩවිය වෙත අමාත්‍යවරයා මේ බව පැවසුවේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා දිගාමඩුල්ලෙන් ඉවත් කර දෙන්නැයි තමා රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකු හමු වී ඉල්ලීමක් කළ බව සඳහන් කරමින් එක්තරා වෙබ් අඩවියක පළ වූ පුවත ව්‍යාජයක් බව පවසමිනි. එම වෙබ් අඩවිය වාර්තා කර තිබූ අන්දමට කුමන අන්දමේ තරඟකරුවෙකු හා මනාප සටනට එළඹෙන්නට සිදු වුවද එය ගැටලුවක් නොවන අතර ජනයා තමන් පළමු තැනට පත් කරමින් දිනවන බව විශ්වාස බවද ඇමතිවරයා පැවසීය. ප්‍රතිවාදීන් ඉවත් කර නොදුනහොත් විමලවීර දිසානායක එක්සත් ජාතික පක්ෂයට යන බව සඳහන් වීම නිසාම එම පුවත හාස්‍යජනක විහිලුවක් බව පැහැදිලි වීමක් යැයිද අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

චන්ද්‍රිකා පාලන සමයේ පිරිසක් එ.ජා.පයට එක්වන අවස්ථාවේ විමලවීර ගේ වටිනාකම කෝටි කිහිපයක් වූවද එය බුලත් කෙළ පහරක් සේ ප්‍රතික්ෂේප කළ තමන් යහපාලන ආණ්ඩුවට එක්වී වරදාන ලබා ගන්නැයි කතා කළ අතරමැදියන්ටද නිසි පිළිතුරු දුන් බවද වැඩිදුරටත් පැවසූ හෙතෙම සඳහන් කළේ තමන් කවුදැයි රාජපක්ෂවරුන් හඳුනන බවයි. යහපාලනය බලයට පත් වූ විගස නැගෙනහිර පළාත් සභාවේ එතෙක් දැරූ අමාත්‍ය ධූරයෙන්ද ඉල්ලා අස් වූ විමලවීර ගැන ජනතාවද දන්නා බව මතක් කර දිය යුතු නැති බවද ඔහු පවසයි.

දමන ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනයට පැමිණි විමලවීර දිසානායක නූගත් කම්කරුවෙකුව සිටියදී ස්වෝත්සාහයෙන් අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාල වරම් ලබා උපාධි හා පශ්චාත් උපාධි ලැබූවෙකි. ඔහුගේ චරිතය පාදක කොටගෙන ලියැවුණු ලිපි හා කෘතින්ද ජනාදරයට පත්ව ඇත.

ප්‍රියන්ත දමනේවෙල

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *