විස්මැති විස්තර නුවර පෙරහැරේ

හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙසින්  සැලකෙන මහනුවර ඇසළ පෙරහර ආරම්භ වන්නේ නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාළයන්හි පෞරාණික චාරිත්‍රානුකූලව සුබ නැකතට කප් සිටුවීමෙනි.පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරන කප් සිටුවීම අනාදිමත් කාලයක පටන් පැවැත එන ඉතා වැදගත්වූ චාරිත්‍රයකි.පෙරහර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම සුබ නැකතට අනුව පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සිදු කිරීම තුළින් පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ හැකි බවට අතීතයේ පටන් පැවත එන විශ්වාසයක් පවතී.මේ නිසාම කප් සිටුවීමේ මංගල්‍යය පෞරාණික චාරිත්‍ර වලට අනුව අකුරටම ඉටු කිරීමට පෙරහර සංවිධානය කරන්නෝ වගබලා ගනිති.මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භයේ සිට අවසානය දක්වාම පැවැත්වෙන්නේ රජ දවස පටන් පැවත එන පෞරාණික චාරිත්‍ර අනුවය.එහිදී නැකැත් වලට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.පෙරහර ආරම්භය සනිටුහන් කරන කප් සිටුවීමේ මංගල්‍යයේ  සිට දිය කැපීමේ මංගල්‍යය දක්වා සියලු දේ සිදු වන්නේ නැකැත් මූලික කර ගනිමිනි.මෙහිදී පෙරහර කෙන්ද්‍ර කර ගනිමින් පවත්නා පෞරාණික චාරිත්‍ර බොහොමයකට මූලීකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ මහනුවර මහ විෂ්ණු දේවාළයයි.පෙරහරේ ආරම්භයත් අවසානයත් සනිටුහන් කරන කප් සිටුවීමේ හා දිය කැපීමේ මංගල්‍යයන් හා බැඳී පවතින චාරිත්‍ර මෙහිදී ප්‍රධාන තැනක් ගනී.මෙම චාරිත්‍ර දෙකම ඉෂ්ඨ සිද්ධ කිරීමේ වගකීම මහ විෂ්ණු දේවාළයට බාරවී තිබෙන්නේ රාජ නියමය අනුවය.

දෙවුන්දර සිට අලුත්නුවරට විෂ්ණු දෙවියන් වැඩම කිරීම සිදුව තිබෙන්නේ ක්‍රි.ව 1200 පමණය.එතැන් පටන් වසර පන්සියයක පමණ කාලයක් විෂ්ණු දෙවියන් උදෙසා පෙරහර මංගල්‍යයන් හා පුද පූජා පැවැත් වීම හතර කෝරළය මූලික කර ගනිමින් අලුත්නුවරදී සිදු කෙරුණි.සීතාවක රාජධානියේ සිට මහනුවර දක්වා පැමිණිය හැකි මාර්ගය මෙම දේවාළ භූමිය ඔස්සේ වැටී තිබිණි.සුදු ජාතිකයින් මෙම මාර්ගය ඔස්සේ උඩරට ආක්‍රමණය කිරීමට ඒමේදී දේවාළයට හානි කිරීම නිසා 18 වන සියවස මුල් භාගයේදී විමලධර්ම සූරිය රජු උපුල්වන් විෂ්ණු දේවාළය මහනුවරට ගෙන ආ බව ඉතිහාස තොරතුරු වලින් අනාවරණය වෙයි.මහනුවර පිහිටි රජ මාලිගාව ආසන්නයට විෂ්ණු දේවාළය ගෙන ඒමේදී අලුත්නුවර රාජකාරි කළ පිරිස්ද ඒ සමඟ මහනුවරට පැමිණියේ රාජ නියමය පරිදි අදාළ රාජකාරී ඒ ලෙසින්ම ඉටු කරන්නටය.පැරණි විෂ්ණු දේවාළය පිහිටි මාවනැල්ල අලුත්නුවර භූමියේ වර්තමානයේ දක්නට ලැබෙන්නේ දැඩි මුණ්ඩ දේවාළයයි.මහනුවර විෂ්ණු දේවාළයේ බස්නායක නිළමේ ධූරයට පත්වන තැනැත්තා අලුත් නුවර දැඩි මුණ්ඩ දේවාළයේදී බස්නායක නිළමේ ලෙසද පිළි ගැනීම සියවස් ගණනායක පටන් පැවැත එන සම්ප්‍රදායකි.දේවාළ දෙක එකම බස්නායක නිළමේවරයෙකු යටතේ පාලනය වීම මගින් රජ දවස පටන් මෙම දේවාළ දෙකෙහි පැවැති සම්බන්ධතාව මනාව පැහැදිලි වෙයි.විෂ්ණු දේවාළය මහනුවර ස්ථාපිත කිරීමෙන් පසු මහනුවර කේන්ද්‍ර කර ගනිමින් පෙරහර කිරීම ආරම්භ විය.

මහනුවර පෙරහර සිදු කිරීමේදී අලුත්නුවර පෙරහර සිදුකර අත්දැකීම් ඇති රාජකාරීකරුවන් මූලිකත්වය ගැනීම නිසා විෂ්ණු දේවාළයට එහි ප්‍රධාන කාර්යභාරයක් සිදු කිරීමේ වගකීම පැවරිණි.දේවළයේ මුල් ඉඩම් හා රාජකාරිකරුවන්ගේ ඉඩම් සියල්ල අලුත්නුවර පිහිටා තිබීම නිසා පෙරහරට කප කපා ගැනීම සිදු කෙරෙන්නේ අලුත්නුවර දේවාළ පරිශ්‍රයෙනි.එම කප අලි ඇතුන් සහිත පෙරහරකින් මහනුවර විෂ්ණු දේවාළයට වැඩම කර පල්ලේ දේවළයේ තැන්පත් කරයි.කප ලෙස කපා ගන්නා පණස දැව කඳ කැබලි හතරකට කපා කප් සිටුවීමේ මංගල්‍යය සඳහා සෙසු දේවාළ වලට බෙදා දීම සිදු කරනු ලබන්නේ වන්නගු රාළ හා දේවාළයේ ප්‍රධාන කපු මහතාගේ මූලීකත්වයෙනි.කප ගලවා රැගෙන ගොස් දියේ පාකර දිය කැපුම් මංගල්‍යය පවත්වන රාජකාරියේද ප්‍රධාන තැන හිමිවන්නේ  විෂ්ණු දේවාළයටය.පැරණි රජදවස පටන් පැවත එන චාරිත්‍රයන්ට අනුව මහනුවර සතර මහ දේවාල මූලික කර ගනිමින් සිදු කෙරෙන කප් සිටුවීමේ මංගල්‍යය සඳහා අවශ්‍යය කප වැඩම කරනු ලබන්නේ අලුත්නුවර දඩි මුණ්ඩ දේවාළයේ සිටය.අලි ඇතුන් සහිත පෙරඇරකින් අලුත්නුවර සිට කිලෝ මීටර 26 ක දුරක් ගෙවමින් දින දෙකක් තිස්සේ වැඩම කරනු ලබන කප මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේදී සිව් කඩකට කපා සෙසු දේවාළ අතර බෙදා දීම රජ දවස පටන් සිදු කෙරයි.පෙරහර මංගල්‍යය සඳහා දින වකවානු තීරණය කිරීමත් සමග කප වශයෙන් තෝරා ගන්නා පණස වෘක්ෂයක් (කොස් ගසක්) ඒ සඳහා වෙන්කර ගනී.උදලු මිටක් තරම් මහත කඳකින් සමන්විත කොස් ගසක් මේ සඳහා තෝරා ගන්නා අතර ගස වටා ශුද්ධ පවිත්‍ර කිරීමෙන් පසු ගස සුවඳ පැණින් නහවා මල් පහන් පූජා කර වතාවත් ඉටු කරනු ලබයි.දින හතක් තිස්සේ ගසට පූජා පවත්වමින් පේ කර කපු මහතුන් විසින් සුබ නැකැතට අනුව එය කපා ගැනීම සිදු කරයි.

එසේ කපා ගන්නා පණස වෘක්ෂ කඳ කොටස පෙරහරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාළයට වැඩම කර එහිදී කොටස් හතරකට වෙන් කරගනු ලබයි.එම කොටස් වලින් එකක් විෂ්ණු දේවාළයේ තබාගෙන අනෙක් ඒවා නාථ,කතරගම හා පත්තිනි දේවාළ වලටත් බෙදා දෙයි.කප දේවාළ කරා වැඩම කරනු ලබන්නේද පංච තූර්ය වාදන සහිත පෙරහරකිනි.දළදා මාලිගාවේ නැකැත් කෝරාළ විසින් ලබාදෙන සුබ නැකතට අනුව මෙම කප සතර මහ දේවාළයන්හිදී එකම වේලාවකදී සිටුවනු ලබන්නේ රජ දවස පටන් පැවත එන චාරිත්‍ර ගරු කරිමිනි.දේවාළ භූමියේ ඇහැළ ගේ නම් විශේෂ ස්ථානයක් සකස් කර ඒ වටා සුදු තිර ඇද ගොක් කොළ එල්ලා මල් පලතුරු වලින් පූජා පවත්වා කප් සිටුවීමේ චාරිත්‍රය ඉටු කෙරෙන අතර එය මහනුවර ඇසළ පෙරහැරේ ආරම්භය ලෙස සැලකෙයි.එදින පටන් සතර මහ දේවාළයන්හි දින පහක් අභ්‍යන්තර පෙරහර පැවැත්වෙයි.කපු මහතුන් විසින් දේව අභරණ දේවාළයෙන් පිටතට වැඩමවා පංච තූර්ය නාද මධ්‍යයේ දේවාළ භූමිය වටා පැදකුණු කො‍ට උඩු වියන්,ධජ,මුතුකුඩ,සේසත් සහිතව කප වටා පෙරහර පැවැත්වීම දේවාළ අභ්‍යන්තර පෙරහර ලෙස හඳුන්වයි.

දේවාළ අභ්‍යන්තර පෙරහර දින පහක් පැවැත් වීමෙන් පසු මහනුවර ඇසළ පෙරහැර වීදි සංචාරය අරම්භ වන්නේ කුඹල් පෙරහැරෙනි.දින පහක් කුඹල් පෙරහැරද අනතුරුව තවත් දින පහක් රන්දෝලි පෙරහැරද වීදි සංචාරය කිරීමෙන් පසු දහවල් පෙරහැර වීදි සංචාරය කර පෙරහැර මංගල්‍යය නිමාවට පත්වෙයි.නිකිණි පුන් පොහෝ දින රාත්‍රී අවසන් රන්දෝලි මහ පෙරහර වීදී සංචාරය කිරීමෙන් පසු දළදා මාලිගාවේ පෙරහර අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව විහාරස්ථානය වෙත වැඩම කර එහි පෙරහැර කරඩුව තැන්පත් කරනු ලබයි.පසුව සිව් මහ දේවාළ පෙරහර ගැටඹේ දියකපනා ‍තොට වෙත රාත්‍රීයේම ගමන් කරයි.දිය කැපීමේ මංගල්‍යය සිදු කරන අවස්ථාවේ  පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් සතර මහ දේවාළයන්හි සිටුවනු ලැබූ කප ගං දියේ පාකර හරී.මෙසේ පාකර හරින කප සෞභාග්‍යයේ සංඛේතයක් ලෙස අතීතයේ පටන් සැලකීම නිසා අති විශාල පිරිසක් එය ලබා ගැනීම පිණිස ගඟ පහළ රැස් කකා සිටිනු අදද දක්නට ලැබෙයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *