විස්සේ අවැඩ ගැන විගණන සේවා සංගමය කියයි

යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් පාර්ලිමේන්තු රාජ්‍ය මූල්‍ය පාලන බලය සීමා වීම හා විගණකාධිපතිවරයාගේ විෂයපථය සීමා වීම හේතුවෙන් බරපතල ගැටලු රැසක් උද්ගත වීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය අවධාරණය කරයි.

මෙම සංගමයේ නියෝජිත පිරිසක් අද 10 දින මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක මෙම තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ දෙපළ දැනුවත් කිරිමට පියවර ගත්හ.

ප්‍රථමයෙන් අස්ගිරි මහා විහාරය වෙත ගිය ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ නිලධාරීහු අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැදැක තත්ත්වය සම්බන්ධයෙන් උන් වහන්සේ දැනුවත් කළ අතර ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දුටුහ.

මෙහිදී නාහිමිවරුන් හමුවේ  අදහස් පළ කළ විගණන  සේවා සංගමයේ නියෝජිතයන් කියා සිටියේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රජයට අනුබද්ධ සමාගම් 150 ක මෙන්ම ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාල, රාජ්‍ය කොමිසන් සභා මෙන්ම පොලිස් කොමිසන් සභාවේද විගණන කටයුතු කිරීමේ බලය විගණකාධිපතිතුමා ගෙන් ඉවත් කොට ඇති බවත් එම ආයතනවල විගණන කටයුතු පෞද්ගලික ආයතන මගින් සිදු කිරීමට බලය පවරා ඇති බවය.

විගණකාධිපති තුමාගේ බලයට යටත් නොවන මෙවැනි ආයතන රැසක විශාල වශයෙන් මූල්‍ය අක්‍රමිකතා හා වංචා දුෂණ, මුදල් අවභාවිතා සිදුව ඇති බවත් මෙම ආයතන වල අධ්‍යක්ෂවරු මිලියන ගණනින් අත්තනෝමතිකව වැටුප් හා වරප්‍රසාද ලබාගෙන ඇති බවත් මෙම තොරතුරු හෙළිවේ යැයි සැකයෙන් මෙම දූෂිත නිලධාරීන් විසින් ජනාධිපතිතුමන් හට නිසි තොරතුරු ලබා නොදී මෙම තත්ත්වය උද්ගත කොට ඇති බවත් ඔවුහු පැවසූහ.

මේ හේතුවෙන් මෙම රාජ්‍ය ආයතන වල වංචා දූෂණ මූල්‍ය අක්‍රමිකතා විගණන දෙපාර්තමේන්තුව මඟින් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ මෙතෙක් පැවති යාන්ත්‍රණය අහෝසි වන බවත් එමගින් රාජ්‍ය මුදල් පාලන ක්‍රමවේදය පාර්ලිමේන්තුවෙන් ගිලිහීම ඉතාමත්ම භයානක තත්ත්වයක් බවත් මෙම නිලධාරීන් නා හිමිවරු හමුවී සඳහන් කළහ.

මෙමඟින් පසුගිය සමයේ විවිධ අක්‍රමිකතා රැසක් සිදු වූ රාජ්‍ය ආයතන බහුතරයක් රාජ්‍ය විගණන බලය ඉවත්කොට පෞද්ගලික අංශයේ විගණනයට බලය ලබා දී ඇති බවත් මෙමගින් රුපියල් බිලියන 800ක පමණ රාජ්‍ය වත්කම් නිසි විගණනයක් නොවී තව තවත් විශාල මුල්‍ය අක්‍රමිකතා මෙන්ම රජයට මෙතෙක් ලැබුණු විශාල මුදලක් අහිමි වීම නිසා මහජන මුදල් විනාශයක් සිදුවන බව ද මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් ජනාධිපතිතුමන් දැනුවත් කර නොමැති බවද මෙම නිලධාරිවාදය හේතුවෙන් ඉදිරියේදී මහා මුදල් විනාශයක් සිදු වන බව ද ඔවුහු මහ නා හිමිවරු හමුවී පෙන්වා දුන්හ.

මෙහිදී මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් මෙම නියෝජිතයන් හමුවේ සඳහන් කළේ ජනාධිපතිතුමන් රටට අවැඩක් වන කිසිදු හෝ කාරණයකට එකඟ නොවන බව තමන් වහන්සේට විශ්වාස බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් නිසියාකාරව දැනුවත් වූ පසු මෙම ගැටලුව නිරාකරණය වන බවත්ය.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *