වූහාන් සිට ආ පිරිස දියතලාවට, හමුදාපතිගේ උපදෙසින් සියල්ල සූදානම්.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපලට රැගෙන ආ වූහාන් හී කොටුව සිටි 33දෙනෙකුගෙන් සමන්විත පිරිස දියතලාව හමුදා කඳවුර වෙත රැගෙනවිත් තිබේ. ඒ අවම වශයෙන් දින 14ක්, එහි ඉදි කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ ඔවුන් රැඳවීමටය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරුවන් දින දෙකක් තුළ මෙම නිරෝධායන මධ්‍යස්ථානය ඉදි කළ අතර අද (පෙබරවාරි 01) උදෑසන විට පැමිණි සෑම අයෙකුටම පිටතට නිරාවරණය නොවෙන සේ පහසුකම් සහිතව සහ ආරක්ෂාව සහිතව රැඳී සිටීමට අවස්ථාව සළසා දී ඇත. සියලු සනීපාරක්ෂක විධිවිධාන සළසා ඇති නිසා සහ ⁣මෙම පිරිසේ කිසිම අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි දැනගන්නට නොමැති නිසා දියතලාව අවට ජනයා කිසිසේත් කලබලයට හෝ බියට පත්විය යුතු නැති බව බලධාරීන් පවසයි. ejournalist වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ දියතලාව යුධ හමුදා කඳවුරේ ඉහළ නිලධාරීන් සහ සෙබලුන් පැවසුවේ යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වය හා මගපෙන්වීම මත ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ධෛර්යය හා කැපවීම තිබෙන බවත් ජය ගැනීමට පුලුවන් බව හමුදාව විශ්වාස කරන බවත් ය. දෙදිනක් තුළ මෙම නිරෝධායන මධ්‍යස්ථානය ඉදිකොට ඒ ශක්තිය පෙන්වූ බව ඔවුහු පවසති.

ඒ අතර, අද මත්තල ගුවන්තොටුපල ආසන්න කලාපය කිසිවෙකුට හෝ පිවිසිය නොහැකි වනසේ වසා දැමීමට ගුවන් හමුදාව කටයුතු කළේ නිරෝධායන වැඩපිළිවෙලට මනා සහයක් ලබා දෙමිනි. සෙසු රටවල ගුවන් සේවා ගමන් වාර අත්හිටුවද්දී ලංකාවේ ජාතික ගුවන් සේවය වූහාන් වෙත පියාසර කර සිය නෑසියන් මුදවා ගැනීම වූහාන් සිට මුදාගත්තවුන්ගේ පවුල්වල ඇගයීමට ලක්වන අතර ඔවුන් රජයට හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ස්තූතිය පිරිනමයි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *