“තේ කහට”, වේදනාව දෙස කලාත්මකව බැලීම

“පොටෝ බලන්න ආපු හැමෝම අහපු එක කාරණයක් තිබ්බා. ඒ තමයි ඇයි ඔයාලා දුක විතරක් පෙන්නුවේ. ඇයි සතුට පෙන්වන්න උත්සාහ නොගත්තෙ කියලා. බලන්න මේවයේ තියෙන්නෙ දුක, පසුබෑම විතරයි. මොකක්දෝ පශ්චාත්තාපී හැඟීමකුයි උත්පාද වෙන්නෙ. ඔය වගේ කතා බරට කියපු අයත් හිටියා. අපි උත්තර දුන්නා. සතුට පෙන්වන්න තවත් අය ඉන්නවා. එයාලා සතුට නිරූපණය කරනවා. අපිට වුවමනා වුණේ දුක පෙන්වලා ඇත්ත කියන්න. සතුට තවම ඈතයි කියන්න. වෙන අය පෙන්වන සතුට ඇතුළෙත් දුක තියෙනවා කියන්න. කවුරුහරි තේ යායක ලස්සන පෙන්වන පින්තූරයක මුල් පේන්නෙ නැහැ. ඒ මුල් ගාව පරිස්සමට බැලුවොත් දුක දකින්න පුලුවන්”

බණ්ඩාරවෙල ඌව හයිලන්ඩ් හී පදිංචි තරුණ ගුරුවරියකද වන එස්. ශ්‍රී දේවි තලවකැලේ කදිරේශන් කෝවිලේ දිගු පුළුල් ශාලාවෙන් පිටත එළිමහනේ සිට කියන්නී වතුකරයේ තරුණ තරුණියන්ගේ සේයා රූ දැක්මක කොටස්කාරියක් ලෙස ඈ ලද අත්දැකීම් ගැනය. ශ්‍රී දේවි විසින් ගනු ලැබූ ඡායාරූපයක්ද එහි සියයක් ඡායාරූප අතර ප්‍රදර්ශනය කෙරේ. බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික් දෙකෙහි තරුණ වතුකර ජනයා නියෝජනය කරන මේ ඡායාරූප ශිල්පීන් සියලු දෙනා ආධුනිකයෝ ය. ඔවුන් කිසිවෙකුට තමන්ගේම යැයි කිව හැකි කැමරාවක් හෝ නැත. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇටම්පිටිය සහ ඌව හයිලන්ඩ් වතුවලද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලොගී සහ හොලිරූඩ් වතුවලද ඡායාරූපකරණයට ලැදි තරුණ ප්‍රජාව මේ ප්‍රදර්ශනය නියෝජනය කළ අතර අජිත් සෙනවිරත්න සහ නදීශ රණසිංහ කැමරාකරණය හා ඡායාරූප සංස්කරණය පිළිබඳ පුහුණු සැසි පවත්වමින් ඔවුන්ට දිරි දුන්හ. අවසන වතුකරයේ පණ ගැහෙන හැටි කියැවෙන සේයා රූ හතළිස් පන්දහසකින් සියයක් තෝරා ගෙන කාලය අවකාශය හරහා නොදුවන ලෙස ඇණ ගසා එක තැන නවතා තැබූ දුක පිළිබඳ ලෝකයට කියන්නට තීරණය කළ බව සමස්තයේ සම්බන්ධීකාරකයෙකු වන කිවියර ළහිරු කිතලගම කීවේය.

“කඳුකර දෙමළ ප්‍රජාව ලංකා ආර්ථිකයේ සුවිශේෂී පංගුවක්. සිලෝන් ටී ජනප්‍රිය වුණාට මේ මිනිස්සු ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. අවුරුදු 200ක් තිස්සේ මේ ජනතාව අවවරප්‍රසාදිතයි. ඒ හින්දා අපිට වුවමනා ඔවුන් ගැන කතිකාවක් පටන් ගන්න. ඒක පොලිසි ලෙවල් එකේ වැඩක් වෙන්න ඕන කියල අපි හිතුවා.” කිතලගම කවියා අලුත් කවියක මුල පාදා පෙන්වයි.

කලාවෙන් අරගල කළ හැකිය.

“අපි ගැටුම වෙනුවට ආර්ට් තෝරා ගත්තා අරගල කරන්න. පොටෝග්‍රැපි තෝරගත්තෙ මේ තරුණ කණ්ඩායම ඒකට සෙට් වෙන නිසා. අපි ඔවුන්ට එක විදියක වෘත්තීය පුහුණුවකුත් දුන්නා. දැන් වතුකරයේ මේ කොල්ලන්ට කෙල්ලන්ට නමක් තියෙනවා පොටෝ ගහන්න දන්නවා කියලා. හැබැයි ඒක නෙවෙයි ලොකුම කටයුත්ත. කලාව යොදාගෙන සමාජ විපරිවර්ථනයක් කරන්න පුලුවන් ය කියන කාරණාව ගැන ඔවුන් සවිඥානික  කරන්න අපිට පුලුවන් වුණා.” ළහිරු කිතලගම කවියා පරිවර්ථනයේ තරම කියද්දී අවශේෂ කාරණා කිහිපයක් පිළිබඳ හැඟවුම්කාරකද ශේෂ ව තිබුණි. කදිරේශන් කෝවිලේ ශාලාව පිළියම් කොට ඡායාරූප එල්ලීම සඳහා වෙහෙස වෙද්දී මේ කුමක්ද? මෙවැන්නක් කුමකටදැයි ප්‍රශ්න කළ සෙවණැලි රූපකයෝද වූහ. උත්ප්‍රාසය උපදින්නේ එතැනිනි. අවශ්‍ය නම් මේ ප්‍රදර්ශනයට එබී බලා දුක වටහා ගත හැකිව තිබුණි. එය සෙසෑන්ගේ සිත්තමක් වාගේය. “එල්ලී මළ මිනිසාගේ නිවස වාගේ ය” හාත්පස ඇත්තේ දුකය, අඳුරය, තනිකමය. ඔවුනගේ රුපියල් දහසේ වැටුප් අරගලය සීතලව ගල් ව ගොසිනි. නිවෙස් හිමිකම් ලබා දීමේ දේශපාලන කතාව පැරණිය. ගෞරවය පිළිබඳ අරගලය එතැනම ය. කහට තිත්තේ ප්‍රියමනාප බව ජීවන තිත්තේ නැත.

ඉදින් මේ වේදනාත්මක ජීවන සෞන්දර්යය ගැන  ඔවුන්ගේ ඇසින් බැලිය යුතුය. “මේ පින්තූර සිනමා කාව්‍යයක් වගේ පෙළ ගස්වන්න ඕන. එතකොට කවදහරි ඒක අරගලයේ සෞන්දර්යය ගැන මතකයක් වෙයි.” කඳුකර ලේඛකයෙකු වන එම්. සිවලිංගම් පවසන්නේ එහෙයිනි. “මේ මහපොළවෙ තියෙන ගස් කොළං දැන් අපිට අඬ ගහන්නේ වළට වරෙං කියලා. යන්න කලිං අපි මේ තරුණයන්ට කියන්නේ වේළිලා මැලවුණු සමාජය ගොඩගන්න කියලා. කඳුකරයේ දේශපාලනයෝ මේ ඡායාරූප පාර්ලිමේන්තුවේ පෙන්වන්න අවස්ථාවක් උදා කරගත යුතුයි. සුලුතර කණ්ඩායමක වේදනාව බලයේ ඇහැ ගැටෙන්න සළස්වන්න. යැයි සිවලිංගම් පවසයි.

නිද්‍රාවෙන් මුදා ලීම

“ඇත්තටම මේක ප්‍රශ්න ගැන පෙන්වන පින්තූර ප්‍රදර්ශනයක් නෙවෙයි. අපේ අරමුණ අපි තුළම, අපි ගැන සමාජ සවිඥානිකත්වය ඇති කර ගැනීම.”  පින්තූර හිමිකරුවන් බවට පත්ව සිටින හැම කොල්ලෙකු, කෙල්ලකම එසේ පවසන්නේ කට පාඩමින් නොවේ. වතුකරයේ හැම බිම් අඟලකම ඇවිද කැමරාව මානද්දී ඔවුන් තුළ උත්පාද වූ හැඟීමයි ඒ.

“සමාජය ගැන ගැඹූරින් නොහිතපු අපි මේ වැඩෙන් ගැඹුරු දැක්මක් ඇති කර ගත්තා.” යැයි ශ්‍රී දේවි පවසන්නේ එහෙයිනි. “මේ පින්තූරවල තියෙන්නේ අපේ ජීවිත. හැබැයි මෙච්චර කාලයක් අපි ඒ ජීවිත ගැන, ඒ ජීවිත පෙළන ප්‍රශ්න ගැන කතා නොකර කොටුවක හිර වෙලා හිටියා. ඉතිං ඒ ජීවිත පින්තූර හැටියට රාමු කළාම අපි දැක්කා මහා සමාජයට සාපේක්ෂව අපි ඉන්නෙ දුකක පසුබෑමක කියලා. අපි මේකෙදි වතුකරයෙ අපේ හාම්පුතුන්ට, දේශපාලකයන්ට ඉඟි කරනවා මේක තමයි අපේ අරගලයේ සෞන්දර්යය කියලා” ඇය පවසන්නීය.

හැටන් හී එන්. ප්‍රියදර්ශනී උසස්පෙළ නිමවා නිවසේ සිටියදී මේ හා සම්බන්ධ වූ හා ඉන් ජීවිතය උගත්තියකි. අපි දකින දේවල් පොටෝවලින් දැක්කම මේ අපේ ජීවිතද කියලා අපිට අපි ගැනම දුක හිතුණා යැයි ඇය පවසන්නීය. “පින්තූර බලන්න ආපු අය අපේ ස්කිල්ස් දැකලා සතුටු වුණා. මේවයේ කන්ටෙන්ට් දැකලා දුක් වුණා.” දුක හා සතුට එකම කේන්ද්‍රයක නාභිගත වූ අන්දමද ඇය පෙන්වා දෙන්නීය.

සිය ජීවිතයේ අනේක කම්කටොලු සෞන්දර්යාත්මකකරණයෙන් විදාරණය කරන්නට ඉඩ ලැබීම පිළිබඳව සතුටු වන බව තරුණ යුවරාජ්ද පවසයි. “ගොඩක් අය මේවා දැකල දුක් වුණා. ඒ අයගේ දුක දැකලයි මම සතුටු වුණේ. මොකද මේක අපි සමාජය එක්ක කරන අරගලයක් නිසා. අනෙක් හැමෝම අපිට වඩා හොඳින් ජීවත් වෙනවා. අපිට නැති දේවල් එයාලට තියෙනවා. අපි මේ කියන්නේ අවුරුදු දෙසීයක දුක ගැන.”

යුවරාජ්ගේ මේ කතාබහට සවිය දෙන්නේ ඔවුන් අතර සම්බන්ධීකරණය ගොඩනැඟූ එම්.ප්‍රදීපන් ය. “ඇත්තටම මේ හැමෝම මුලින්ම අපි එක්ක කිව්වේ එයාලගේ වෙහෙස ගැන. මේ හැමෝම ජීවත් වීම නිසා වෙහෙසිලා හිටපු අය. කැමරාවක් දැකලාවත් නැති අයට පොටෝ ගහන්න කියලා දුන්න එක නෙවෙයි කතාව. මතුවෙච්ච දේ. වතු හාම්පුත්තු කදිරේශන් කෝවිලට ආවේ මොකක් හරි එක්සිබිෂන් එකක් බලන්න එනවා කියන සරල අදහස ඇතිව. හැබැයි මේක දැකල ඔවුන් කම්පනයට පත් වුණා. දැන් හරියට හැමෝම ඉස්සරහ ගැඹුරු වළක් කපලා වගේ. වළට එබිලා බලපුවම ජනතාව ඒකට වැටිලා ඉන්නවා. අන්න ඒක තමයි ඉම්පැක්ට් එක. අනෙක් පැත්තට අපි පිළිගැනීමක් නැති මිනිස්සුන්ගේ දරුවන්ට පිළිගැනිමක් දුන්නා” ඔහු ඉදිරිය පිළිබඳ දැක්මක් ඇතිව පවසයි.

“මේ පින්තූර බලන්න ආපු ජීවන් තොන්ඩමානුත් කම්පනය වුණා. එයා කිව්වා මේක ජාත්‍යන්තර මට්ටමේ පින්තූරත් තියෙන වැඩක් කියලා. උදව් කරන්නම් කියලත් කිව්වා. හැබැයි දේශපාලනඥයන්ගේ උදව්ව වෙන්න ඕන කැමරා නැති දරුවන්ට කැමරා අරන් දෙන එක විතරක් නෙවෙයි. ඒ හරහා ජීවන අරගලය දිනවන එක” ඒ පින්තූර හිමිකාර ඇස්වල හැඟීමයි.  දැන් කැමරාවක් නැතත් ඔවුන් තුළ අදහසක් ඇත. මතවාදයක් හා දිනිය යුතු අරගලයක් ඇත. ඒ හැඟීම කියාපාන්නේ එයයි.එය ඔබටද නැරඹීමට පුලුවන. ඒ හැඟුම් හා සමපාත වීමටද පුලුවන. අගෝස්තු 29 සෙනසුරාදා ඌව හයිලන්ඩ් වතු යායේ ප්‍රජා සංවර්ධන ශාලාවේදීත්, සැප්තැම්බර් 04,05 දෙදින බදුල්ල සයිමන් පීරීස් ශාලාවේදීත් පස්සර ඌව ශක්ති පදනමේද සහය ඇතිව ලැබෙන ඒ ඉඩ මතු දවසක කොළඹදීද ලැබෙන්නට ඉඩ ඇත.

 

ලසන්ත ද සිල්වා

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *