වෛරස් නසන අලුත් මාස්ක් එක – මුලින්ම මහින්දට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව නිපදවා ඇති කොවිඩ් 19 ඇතුළු වෛරස විනාශ කරන නවතම මුහුණු අ‍ාවරණයක් අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීම  සිදුවිය.

මේවන විට ලොව භාවිතා වන සියලු මුහුණු ආවරණවලට වඩා ඉතා ඉහළ තාක්ෂණයකින් යුතු මෙම මුහුණු ආවරණය ස්ථර තුනකින් නිර්මාණය කර ඇති බව මේ පිළිබද පර්යේෂණය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා මෙය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වමින් පැවසීය.

එම මුඛ ආවරණයේ පළමු ස්ථරයෙන් කෙළ බිදිති වැනි ද්‍රවමය දෑ ක්ෂණිකව ඉවත්කිරීම සිදුවන බවත් දෙවැනි ස්ථරයේ ඇති විශේෂිත රසායනික ද්‍රව්‍යක් මගින් යම් ආකාරයකින් හෝ පැමිණෙන වෛරස විනාශ කරන බවත් තෙවැනි ස්ථරයෙන් පැමිණෙන කෙළ බිදිති වැනි දේ වාෂ්පකිරීම සිදුකරන බවත් මහාචාර්යවරයා පැවසීය.

එසේම විසිපස් වතාවක් මෙම මුහුණු ආවරණය නැවත නැවත සෝදා භාවිතා කළ හැකිවීමද විශේෂත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායමේ  විශේෂ වෛද්‍ය චමින්ද හේරත් මහතා ප්‍රකාශකර සිටියේ මෙම මුහුණු ආවරණය දැනට භාවිතාවන KN 95 මුහුණු ආවරණයට  වඩා ඉහළ සුරක්ෂිත බවකින් යුතු බව පර්යේෂණාත්මකව සනාථ වී ඇති බවයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨ‍යේ සිදු කරන ලද පර්යේෂණවලට අනුව මෙම මුහුණු ආවරණයේ රැදෙන වෛරස 99%ක් විනාශ වන බව තහවුරුවී ඇතිබවද ඒමහතා පැවසීය. සාමාන්‍ය මුහුණු ආවරණයක රැදෙන වෛරස දින 7ක් පමණ පැවතුනද මෙම මුහුණු ආවරණය මගින් ඒවා ඉතා කෙටි කලක් තුළ විනාශයට පත් කිරීම සුවිශේෂි කරුණක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම නවීන තාක්ෂණයෙන් යුතු මුහුණු ආවරණය මේවන විට වෙළද කටයුතු  අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් දේශීය වෙළදපොළ සදහා නිෂ්පාදනය කිරීම සිදු කරන බවත් ඉදිරියේදී අපනයනය කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ  අපනයන මට්ටමේ මෙවැනි දියුණු නිෂ්පාදනයක් හදුන්වාදීමට හැකිවීම රටක් ලෙස ආඩම්බර විය හැකි කරුණක් බවයි.

අමාත්‍යවරු,රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *