වෛරස ගැන දැනගනිමු. සබන්වල උදව්වෙන් සටන් කරමු

වෛරස, ඒවා මොන වගේද?

වෛරස වනාහී ක්ෂුද්‍රමය නැතිනම් අන්වීක්ෂීය පරපෝෂිතයෙක්. ඒවාට පුලුවන් සජීවී ඓන්ද්‍රියයන් ඒ කියන්නෙ ශාඛ සහ සතුන් වගේම මිනිසුන් ආසාදනය කරන්න. නැතිනම් රෝගාබාධවලට ලක්කරන්න. වෛරස වෙනත් ජීවී සිරුරු තුළ තමන්ගේ පිටපත් සාදමින් ගුණනය වෙනවා. වෛරස හැදිලා තියෙන්නෙ මධ්‍යයේ නියුක්ලෙයික් අම්ලය සහ පිටත ප්‍රෝටීන් වැස්මකින්. මේ මධ්‍ය නියුක්ලෙයික් අම්ලය බොහෝවිට RNAවලින් සහ ඇතැම්විට DNA අණුවකින් සමන්විතයි. ඒවායේ තමයි වෛරසයට අදාල ගති ලක්ෂණ සහ පරවේණිය ලියවිලා තියෙන්නෙ. මේ වෛරස හැම එකක්ම බැක්ටීරියාවලට වඩා කුඩයි. ඒ ඒ වෛරසවල හැඩය මෙන්ම ඒවාට ආවේණික ගතිලක්ෂණද වෙනස් වෙන්නට පුලුවන්.

වෛරසවල පොදු රූපාකාරය

වෛරස ජීවීද අජීවිද?

මෙය විවාදයට භාජනයව ඇති කරුණකි. ඇතැම් ජීව විද්‍යාඥයෙකුට අනුව වෛරස ජීවී විශේෂයක් නොවේ. ඒ ජීවී ලක්ෂණ සම්පූර්ණ කර නැති බැවින් ය. වෛරසවලට සෛල නැත. ඒ නමුත් ඒවාට ජාන තියෙනවා.

අපිට ලෙඩ හදන වෛරස මොනවාද?

ගහකොළවලට සතුන්ට සහ අපිටත් ලෙඩ හදන වෛරස රාශියක් තියෙනවා. සාමාන්‍ය හෙම්බිරිස්සාවට හේතුවෙන්නේ රයිනෝ වෛරස කාණ්ඩයට අයිති ඒවා. ඒඩ්ස් හදන්නේ HIV. මේවායේ මදය හැදිලා තියෙන්නේ DNA හෝ RNAවලින්. හර්පීස් සහ හෙපටයිට්ස් බී හදන වෛරස DNAවලින් සමන්විත ඒවා. එතකොට RNA වෛරසවල රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් කියලා එන්සයිමයක් තියෙනවා. ඒ හින්දා ඒවාට පුලුවන් DNA සිට RNA දක්වා සුපුරුදු අනුක්‍රමය ආපිට හරවන්න අනුබල දෙන්න. ඒ හින්දා ඒවාට පුලුවන් වෙලා තියෙනවා තමන්ගේම පිටපත් DNA ඇතිව හදාගන්න. හෙපටයිට්ස් සී සහ ඒඩ්ස් හැදෙන්නෙ RNA වෛරස නිසා. වෛරසවේදීන් ඒවායේ හැඩය, චර්යාව සහ ගතිලක්ෂණ අනුව විවිධ පවුල්වලට වෛරස බෙදා දක්වනවා. ඒ හින්දා අපිට ලෙඩ හදන වෛරසත් විවිධ වෛරස පවුල්වලට අයත් වෙනවා.

විවිධ වෛරස කිහිපයක්. ඒවායේ හැඩය එකිනෙකට වෙනස් ය.

වෛරස අපිව ලෙඩ කරන්නේ කොහොමද?

හැම වෛරසයක්ම පාහේ පරපෝෂිතයෙක්. ඒවාට තනිව ජීවත් වෙන්න බැහැ. ඕනෑම වෛරසයක් ධාරක සිරුරක් නැතිව බාහිර පරිසරයේ පවතින්නේ මිනිත්තුවක වගේ සුලු කාලයක සිට පැය කිහිපයක් දක්වා පමණයි. ගුණනය වෙන්න හෝ වෙනත් ස්වරූපයකට පරිවර්ථනය වෙන්න නම් වෛරසවලට සිද්ධ වෙනවා ජීවී සිරුරකට ඇතුළු වෙන්න. එහෙම ඇතුළු වුණාට පස්සෙ ජීවියාගේ සෛල තුළට රිංගන වෛරස එයාගෙ පිටපත් හදමින් ගුණනය වෙන්න පටන් ගන්නවා. ඒ ආගන්තුකයො නිසා ජීවියාට තමන්ගේ ජීව ක්‍රියාවන් නියාමනය කරගන්න බැරිව යනවා. එයාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසවලට එරෙහිව සටන් කරන්න පටන් ගන්නෙ ඒකයි. මෙහෙම හිතන්න ඔබේ සිරුරේ සෛලයකට ඇතුළුවෙන වෛරසයක් ගුණනය වෙන්න පටන් ගත්තම ඒ සඳහා අමුද්‍රව්‍ය සපයාගන්නෙත් ඔබේ සිරුරෙන්. ඒක බරපතල ප්‍රශ්නයක්. අන්න දැන් සටන පටන් ගන්නවා. ආගන්තුක වෛරසය ඇතුළු වුණ තැන ඉඳලම එතකොට මේ සටන නිසාත් සිරුර අපිට විවිධ සංඥා දෙනවා. උණ, කැස්ස, සොටු ගැලීම, වේදනාව, වමනය, පාචනය වගේ. දැන් අපි දන්නවා අපිට ලෙඩ කියලා.

වෛරසවලට ධාරකයෙක් නොමැතිව ජීවත්විය නොහැක.

වෛරස විනාශ කරන්නේ කොහොමද?

ඇත්තටම වෛරසවලට එරෙහි සටන පහසු නැහැ. ඒවා ජීවීන් නෙවෙයි කියන අයගේ තර්කයට අනුව නම් වෛරස ජීවීන් වාගේ මරණයට පත්වෙන්නෙත් නැහැ. කරන්න තියෙන්නෙ වෛරසවල මුල් ස්වරූපය කුඩුපට්ටම් කරලා ඒවා වනසා දමන එක තමයි. වෛරස ගුණනය වන අතර ස්වරූපය වෙනස් කර ගැනීම සහ එකම රෝගයට හේතුවන වෛරස ගණනාවක් තිබීම නිසා වෛරසවලට බෙහෙත් දීලා පලක් නැහැ. අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙලා වෛරස භක්ෂණය කරලා වනසලා දානකම් විවේකයෙන් ඉන්නයි තියෙන්නේ.

එහෙනම් ඇයි හෙම්බිරිස්සාව හැදුනමත් බෙහෙත් දෙන්නෙ?

වෛරස නිසා ඇතිවන රෝගයකදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒ ගැන අවධානෙන් සටන් කරද්දි දුර්වල අවස්ථාවක් බලලා බැක්ටීරියා සිරුරට රිංගාගන්න පුලුවන්. ඒවාට අපි කියනවා ද්වීතියික ආසාදන කියලා. අන්න ඒවා වළක්වා ගන්න තමයි ප්‍රතිජීවක දෙන්නෙ. මොකද ඒවාට පුලුවන් බැක්ටීරියා මරා දමන්න. එතකොට වේදනා නාශක දෙන්නෙ වේදනාව සහ උණ එහෙම සමනය කරන්න. එහෙමනම් වෛරස නසන මුලු සටනම කරන්නෙ අපේ සිරුර තමයි. දැන් පේනවා නේද ඒඩ්ස්, ඩෙංගු වගේ වෛරස එක්ක සිදුකරන සටන සිරුරට මොනතරම් අමාරුද කියලා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුවෙන් තබාගැනීමට උනන්දු වෙමු.

හැබැයි මතක තියාගන්න ප්‍රතිවෛරස බෙහෙත් කියලා ජාතියකුත් තියෙනවා. ඒවා වැඩ කරන්නේ වෛරස සෛලවලට බැඳීමට උපකාර වන ප්‍රතිග්‍රාහක අවහිර කරලා. මේ බෙහෙත්වලට පුලුවන් ආසාදන ක්‍රියාවලිය නවත්වලා නීරෝගී සෛලවලට වෛරස ඇතුළු වෙන එක නවත්වන්න. හැබැයි ඒක පහසු වැඩක් නෙවෙයි. නමුත් දැන් ඒඩ්ස්, සාර්ස් වගේ රෝගවලදි ප්‍රතිවෛරස ඔසු දෙනවා. අපි දන්න විදිහට මේ දවස්වල පැතිරෙන කොරෝනාවලටත් ඒඩ්ස්, සාර්ස් වගේ රෝගවලට එරෙහිව දෙන ප්‍රතිවෛරස ලබා දෙනවා.

කොරෝනා මොනවගේද?

කොරෝනා හිරුගේ රශ්මි මාලාව වගේ නැත්නම් ඔටුන්නක වගේ නෙරා ආ මියර සහිත ගෝලාකාර හැඩයක් තියෙන විෂබීජයක් නිසා ඒ නම ලබාපු වෛරසයක්. දැන් තහවුරු නොකළ කතා තියෙනවා මේ වෛරසය ජෛව අවියක් ලෙස නිපදවන්න ඇති කියලත්. ඒ වුණාට ඒ අදහස ප්‍රතික්ෂේප කරන ජීව විද්‍යාඥයෝ කියන්නේ වවුලන් වාගෙ සතුන්ගෙන් මේ වෛරස මිනිසුන්ට සම්ප්‍රේශනය වෙලා මිනිස් සිරුරෙදි වෙනස් වෙන්න ඇති කියලා. ඒඩ්ස්, සාර්ස් වගේ රෝග හදන විෂබීජත් එහෙම ආව බව කියන විද්‍යාඥයො ඉන්න නිසා ඒ මතය බැහැර කරන්න බැහැ.

සබන්වලට, මධ්‍යසාරවලට වෛරස වනසන්න පුලුවන්ද?

ඇත්තටම කරන්න වෙන්නෙත් මැරෙන්නෙ නැති වෛරස කුඩුපට්ටම් කරන එක තමයි. අපි දැන්වීම්වල සමට සුමුදු සුවඳ සබන් කියලා දැම්මට වෛරස සහ බැක්ටීරියා පාර්ශවයෙන් ගත්තොත් සබන් කියන්නේ අති බිහිසුණු මාරාන්තික ද්‍රව්‍යයක්. සබන් හැදිලා තියෙන්නෙ හරියටම කිව්වොත් කූඤ්ඤ හැඩ අණුවලින්. කූඤ්ඤෙ ඔලුව පැත්ත වතුරට කැමතියි. වලිගෙ පැත්ත වතුරට අන්තිම අකැමැතියි. හැබැයි ඒ වලිගය පැත්ත මේද නැත්නම් ලිපිඩ එක්ක මුහු වෙන්න හරිම ආසයි. එතකොට අපි අත් සෝදද්දි මොකද වෙන්නෙ සබන්වල තියෙන අනුවල අර වතුරට අකැමැති වලිග උත්සාහ ගන්නෙ වතුරෙන් ඈත්වෙන්න. ඒවා කරන්නෙ අත්වල තියෙන බැක්ටීරියා නැත්නම් වෛරස දිහාට හැරෙන එක. මොකද හුඟක් වෛරස නැත්නම් බැක්ටීරියාවල පිටතින් ලිපිඩ පටලයක් තියෙන හින්දා. මේවායේ එල්ලෙන සබන් අනුව කූඤ්ඤයක් වගේ ක්‍රියාකරමින් වෛරස හෝ බැක්ටීරියාවල ලිපිඩ නැත්නම් තෙල් පටලය ඉරාගෙන ඇතුළට කිඳා බහිනවා. එතකොට වෙන්නෙ බැලුමක් පැලිලා හුළං එළියට එනවා වාගේ ඇතුළෙ තියෙන දේවල් එළියට ඇවිත් බැක්ටීරියාව නැත්නම් වෛරසය වැනසෙන එක. අපේ වාසනාවට වගේ කොරෝනා වෛරසය වටාත් ලිපිඩ පටලයක් තිබෙන නිසා ඒවා වනසා දමන එක සබන්වලට මහ කජ්ජක් නෙවෙයි. ඇත්තටම සබන්වලට පුලුවන් ඒඩ්ස් වෛරසය වුණත් වනසන්න. ඒත් ලිපිඩ පටලයට අමතරව වෙනත් ආරක්ෂක වැස්මක් ඇති බැක්ටීරියා ඒ කියන්නෙ පෝලියෝ, නියුමෝනියා වගේ  රෝග ඇතිකරන ඒවා වනසන්න සබන්වලටත් අමාරුයි. ඒ වගේ අවස්ථාවල මධ්‍යසාරත් භාවිතා කරන්න වෙනවා.

සබන් ගැන විශ්වාසය තියමු

කොහොමවෙතත් මතක තියාගන්න සබන් සැනිටයිසර්වලට වඩා බලසම්පන්නයි. සැනිටයිසර්වලින් වැඩක් ගන්නනම් ඒවායේ සියයට 60-70ක්වත් ඇල්කොහොල් තියෙන්න වෙනවා. ඉතිං මොකටද ඒවා පස්සෙ දුවන්නෙ. ගමේ කඩේ තියෙන සබන් කැටය පිහිට වෙද්දි.

ඇල්කොහොල් නැත්නම් මධ්‍යසාරවලටත් වෛරස හා බැක්ටීරියාත් වනසන්න පුලුවන්. හැබැයි මත්පැන් බීලා නෙවෙයි. සම හෝ අත් නැතිනම් වෙනත් මතුපිටවල ඒවා දමා අතුල්ලමින් පිරිසුදු කරලා.

දැන් ඉතිං කොරෝනා සටන තියෙන්නෙ අපේ අත්වල ඒ නිසා වෛරස ගැන මේ දන්න තොරතුරුත් භාවිතා කරලා සටන් කරමු. උදව්වට කැඳවා ගන්න තියෙන්නේ සබන්ම තමයි.

ලසන්ත ද සිල්වා.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *